
වාරියපොල – අවුලේගම ප්‍රදේශයට බලපෑ සැඩ සුළඟින් නිවාස 93 කට හානි
වාරියපොල, අවුලේගම ප්‍රදේශයට බලපෑ සුළිසුළං තත්වයක් හේතුවෙන් නිවාස 93 කට හානි සිදුව තිදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසනවා.
අප වාර්තාකරු පැවසුවේ හානිවූ නිවාස අතුරින් නිවාස 03 කට බරපතළ හානි සිදුව ඇති අතර එම නිවාස වල ජීවත් වූ පවුල් තුනකට අයත් 10 දෙනෙකු වෙනුවෙන් ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථනයක නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමටත්, ඔවුන් වෙනුවෙන් පිසූ ආහාර සැපයීමටත් වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන ඇති බවයි.
වාරියපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හල්මිල්ලෑව සහ හබගම යන ප්‍රදේශවලට මෙම අධික සුළං තත්ත්වය බලපා තිබූණා.
දැඩි සුළං තත්ත්වය ඇතිවූයේ ඊයේ සවස 5.45 ට පමණ බව එම ප්‍රදේශවාසීන් පැවසූ අතර ඇතැම් නිවාස වල වහළ සම්පූර්ණයෙන්ම ගැලවී විනාශ වී ගොස් තිබෙනවා.
එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් බුලත් වගාවේ නිරතව සිටින අතර එම බුලත් වගාවන් රැසකට ද සුළඟින් හානි පැමිණ තිබුණා.
ප්‍රදේශවාසීන් පැවසුවේ හානියට පත් ඇතැම් ප්‍රදේශවලට ඊයේ (18) රාත්‍රිය වනතුරුම විදුලිය විසන්ධිව තිබූ බවයි.
සිදුව ඇති හානි සම්බන්ධයෙන් වන්දි මුදල් ලබාදීම වෙනුවෙන්වූ තක්සේරු කටයුතු ආරම්භ කර ඇති බව වාරියපොල ප්‍රාදේශීය ලේකවරිය ප්‍රකාශ කළා.
සිද්ධිය වූ ප්‍රදේශයට පැමිණ සිටි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්යක්ෂ විරාජ් දිසානායක මහතා කියා සිටියේ මෙම සුළං තත්ත්වය ඉදිරි කාලයේදීත් තිබිය හැකි බැවින් නිවාස සහ ගොඩනැගිලි ආසන්නයේ ඇති අවධානම් ගස් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසයි.
හබගම පදිංචි චන්ද්‍රා ස්වර්ණලතා මහත්මිය සුළං තත්ත්වය පිළිබඳව තම සුළඟ අත්දැකීම විස්තර කළේ මෙසේයි.
” මම ඒ වෙලාවෙ ගේ ඇතුලෙ හිටියෙ එකපාරටම මුහුදේ සද්දෙ වගේ සද්දයක් ඈතින් පටන් අරං අපි ඉන්න දිහාවට එනව වගේ ඇහුනා. ඒත් එක්කම ගස් වලට හුළඟ වැදෙන සද්දෙ ඇහුනා. මම එළියට ඇවිත් බැලුවා එතකොට දූවිල්ල වගේ හැමතැනම තිබුණා. අපේ කුස්සියේ වහලය ගැලවිලා ගියා. ඒත් එක්කම කිකිලියන් ටික අපි බලාගෙන ඉන්නකොටම උඩින් ගසාගෙන ගියා. පස්සෙ බලනකොට ට්රැක්ටරය දාන මඩුවත් කඩා වැටිලා වත්ත පුරාම ගස් වැටිලා. කිකිළියන් 18 දෙනෙක් හිටියා දැන් ඉන්නේ 4 දෙනයි. ඉතිරි කිකිළියන්ට වෙච්ව දෙයක් නැහැ. වතුර ටැංකියේ පියන කිලෝමීටර් බාගයක් විතර ඈත ගෙයක් ළඟ තිබිලයි හම්බ වුණේ “