ලෝක ආර්ථිකයට එල්ල වන පීඩනය අතරේ නැගිටින රටවල්

ලෝක ආර්ථිකයට එල්ල වන පීඩනය අතරේ නැගිටින රටවල්

දැවැන්ත පාරිභෝගික වෙළඳපොල, එහි ඉල්ලුමේ සීඝ්‍ර වැඩිවීම, වේගවත් ආර්ථික වර්ධනය සහ නැගී එන තරුණ තාක්ෂණික ශ්‍රම බලකාය විසින් ආසියානු කලාපයේ ඉන්දියාව වඩවඩාත් සිත්ගන්නාසුළු සෘජු විදේශ ආයෝජන ගෙන එන ව්‍යාපාරිකයන්ගේ ගමනාන්තයක් බවට පත් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඉන්දියාවේ ආර්ථිකයේ ගෘහස්ථ පරිභෝජන කොටස සලකා බලන විට රටේ ජනගහනය වන බිලියන 1.4ක අතිවිශාලත්වය කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි බවයි එම වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

මිලදී ගැනීමේ හැකියාව සහ සමානාත්මතාව අනුව ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමේ ගමනක යෙදෙමින් සිටින අතර එය ආයෝජන ගෙන එන බහුජාතික සමාගම්වලට නොසලකා හැරිය නොහැකි කරුණකි.

2021-22 මූල්‍ය වර්ෂයේ රටේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 8.2%ක් ලෙසින්, 2019-20 මූල්‍ය වර්ෂයට වඩා 1%ක වැඩිවීමක් වාර්තා කිරීමත් සමඟ, ඉන්දියානු ආර්ථිකය පූර්ව වසංගත මට්ටම්වලට ලඟාවී ඇති බව විදෙස් ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරනවා.

රටේ වේගයෙන් චලනය වන පාරිභෝගික භාණ්ඩ (FMCG) විකුණුම් විසින්, ආර්ථික ප්‍රසාරණයට ඉන්ධන සපයන අතර, සමස්ත විකුණුම් පෙර වසරට වඩා 2021 දී 16% කින් වැඩි වූ අතර, ඒ අනුව,පරිභෝජනය මූලික කරගත් වර්ධනය වසර නවයකට පසු ඉහළම අගයක් වාර්තා කරනු ලැබුවා.

පාරිභෝගික භාණ්ඩ(FMCG) යනු, 2020 දී ඇමරිකානු ඩොලර් බිලියන 110 ක වෙළඳපල ප්‍රමාණයකින් යුත් ඉන්දියානු ආර්ථිකයේ සිව්වන විශාලතම අංශයයි.

එය 2025 වන විට දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

2020 ආරම්භයේ පැමිණි කොවිඩ්-19 වසංගතයෙන් අනතුරුව, 2021 ආරම්භයේ පැමිණි යුක්රේන යුද්ධයත් සමග, එකසත් ජනපදය සහ යුරෝපය විසින් රුසියාවට පනවා ඇති සම්බාධක නිසා ලොව පුරා සැපයුම්දාම බිඳවැටී තිබෙනවා.

විශේෂයෙන් රුසියාවෙන් සිදුකෙරෙන ඉන්ධන සහ බලශක්ති සැපයුම බිඳවැටීම යුරෝපයේ සමහර සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ දුප්පත් රටවලට දැරිය නොහැකි අර්බුදයන් නිර්මාණය කරදී ඇති බවයි පැහැදිලි වන්නේ.

එම නිසාම එළඹෙන මීළඟ ශීත සෘතු කිහිපයක්ම යුරෝපයට විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් බලශක්ති සැපයුම් හීනව, ශීතලේ මිදෙමින් හිඳීමට සිදුවනු ඇතැයි අනාවැකි පළව තිබුණා.

එහෙත් ඉන්දියාව සිය ශක්තිමත් ආර්ථික මුලධර්මයන් හේතුවෙන් යුක්රේන යුධයෙන් මෙතෙක් සෘජුව පිඩාවට පත්ව නැත. ඒ වෙනුවට සෘජු ඉන්ධන සහ ගල්අඟුරු සැපයුම් සඳහා රුසියාව සමග නව ගිවිසුම්වලට එළඹීම මගින් ලොව බොහෝ දියුණු වෙනත් රටවලට වඩා ඉන්දියාව සිය වඩා දියුණු රාජ්‍යතාන්ත්‍රිකභාවය ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විටත් රුසියානු බොරතෙල් අපනයනය කරන ප්‍රධානම ගමනාන්තයක් බවට ඉන්දියාව සීඝ්‍රයෙන් පත්ව ඇති අතර, ප්‍රමුඛතම රුසියානු ගල්අඟුරු සපයුම්කරුවෝද සිය කාර්යාල ඉන්දියාවේ විවෘත කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ පෙරගමන්කාර ක්ෂේත්‍රය වන්නේ ‘පරිභෝජන භාණ්ඩ විකුණුම්’ බව හඳුනාගත හැකිය. පරිභෝජන භාණ්ඩ විකුණුමෙහි සමස්ත ආදායමෙන් අඩකට වඩා නාගරික අංශයෙන් ලැබෙන නමුත් ග්‍රාමීය වෙලඳපොලවල් වසරින් වසර වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කරනවා.

ග්‍රාමීය පරිභෝජනය වැඩි කිරීම සහ ඊ-වාණිජ්‍යය ඉන්දියාවේ FMCG වර්ධනයේ ප්‍රධාන ධාවකයන් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඉංග්‍රීසි කතා කරන, අඩු වියදම් සහ හොඳින් උගත් තාක්ෂණික ශ්‍රම බලකාය තිබියදීත්, ඉන්දියාව ඉතිහාසයේදී අපනයන-නැඹුරු නිෂ්පාදන ස්ථාපිත කිරීමට ජනප්‍රිය ස්ථානයක් නොවීය.

එහෙත් අද තත්වය හාත්පසින්ම වෙනස්වී, බොහෝ විදේශීය බහුජාතික සමාගම් දැන් ඉන්දියාවේ නිෂ්පාදන සඳහා ආයෝජනය කිරීමට තීරණ ගනිමින් සිටී.

නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන භාවිත කිරීමට දැන් කාලය බව ඉන්දීය රජය පිළිගෙන ඇති අතර විදේශීය සමාගම් ඉන්දියාවේ ආයෝජනය කිරීම සඳහා පොළඹවා ගැනීමේදී අනුගමනය කිරීමට සිදුවූ දීර්ඝ සහ වෙහෙසකර ක්‍රියාවලිය මගහරවා ගැනීම වෙනුවෙන් “ගති ශක්ති” නමින් නව යෝජනා ක්‍රමයක් දියත් කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ, අමාත්‍යාංශ 16ක් තනි ඩිජිටල් වේදිකාවක් හරහා සම්බන්ධ කෙරෙන අතර, ආයෝජකයන්ට අනුමැතිය ලබාදීම එක් මධ්‍යස්ථානයක් හරහා සිදු කෙරුණා.මෙම වැඩසටහන නංවාලීමට සහ යටිතල පහසුකම් ව්‍යාපෘති, විශේෂයෙන්ම මාර්ග, දුම්රිය ජාල, වරාය සහ ගුවන් තොටුපළවල් සංවර්ධනය හරහා ආයෝජකයන් දිරිමත් කිරීම වෙනුවෙන් ඔක්තෝම්බර් මාසයේදී අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඩොලර් ට්‍රිලියන 1.2ක් අනුමත කෙරුණා.

දේශීය හා විදේශීය සමාගම් ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීම සඳහා රජය ප්‍රධාන අංශ 14ක් හරහා නිෂ්පාදන සම්බන්ධිත දිරිගැන්වීම් (PLI) යෝජනා ක්‍රම මාලාවක් හඳුන්වාදී තිබෙනවා.

ජංගම දුරකථන නිෂ්පාදනය සඳහා විකල්ප ස්ථානයක් ලෙසද ඉන්දියාවේ තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා, ජංගම දුරකථන නිෂ්පාදන ආයෝජනය ඉහළ නැංවීම අරමුණු කරගත් නව යෝජනා ක්‍රමයක් ද රජය විසින් හඳුන්වා දී ඇත. 2022 පළමු කාර්තුව තුළ පමණක්, ස්මාර්ට් ජංගම දුරකථන මිලියන 48ක් ඉන්දියාවෙන් අපනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 07%ක වැඩිවීමකි.

ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් දුරකථන සමාගම් මෙන්ම තෙවන පාර්ශවීය ඉලෙක්ට්‍රොනික කොන්ත්‍රාත්තු නිෂ්පාදකයන් ද දේශීය වෙළඳපොළ සහ අපනයන සඳහා ආයෝජනය කර තිබෙනවා.

රෙදිපිළි යනු රටේ පැරණිතම කර්මාන්තවලින් එකකි. ඉන්දියාව ඩොලර් බිලියන 103.4 ක වෙළඳපල විශාලත්වයකින් යුත් ලොව දෙවන විශාලතම රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදකයා වන අතර දේශීය හා අන්තර්ජාතික වශයෙන් විවිධ වෙළඳපල කොටස් සඳහා පුළුල් පරාසයක රෙදිපිළි නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා.

2022 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ඩොලර් බිලියන 4.4ක් වටිනා රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 41%ක වැඩිවීමකි. මෙම අංශය 2025-26 වන විට ඩොලර් බිලියන 190 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එක්සත් ජනපද බහු ජාතික ආයෝජන බැංකුවක් සහ මුල්‍ය සේවා සැපයුම්කරුවකු වන JP Morgan Chase හි ප්‍රධාන විධායක නිලධාරී Jamie Dimon මෑතකදී සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ, “ඉන්දියාව ඉදිරි වසර 10 තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයේ විශිෂ්ඨත්වය ළඟා කර ගැනීමට ශක්‍යතාවෙන් පසුවේ. එම නිසා ලොව බොහෝ සමාගම්වලට තවදුරටත් චීනය මත යැපීමට සිදු නොවනු ඇත” යනුවෙනුයි.

 

Share This