වැල්ලවායේ ජරාව කෑමට දුන් 15 කට සහ කල් ඉකුත් වූ වියලි මිරිස් සඟවාගෙන සිටි වත්තල  පුද්ගලයකුට නඩු

වැල්ලවායේ ජරාව කෑමට දුන් 15 කට සහ කල් ඉකුත් වූ වියලි මිරිස් සඟවාගෙන සිටි වත්තල පුද්ගලයකුට නඩු

අපිරිසිදු ආහාර අලෙවිකරන ස්ථාන සොයා වැල්ලවාය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (14) වැටලීමක් සිදු කළා.

එහිදී ඔවුන් අපිරිසිදු ආහාර අලෙවිකළ ස්ථාන 15 කට නඩු පැවරීමටයි කටයුතුකර ඇත්තේ.

මෙහිදී ඉතාම අපිරිසිදු ආහාර අලෙවි කළ ස්ථාන රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් වුණා.

ඇතැම් බේකරි ආහාර නිෂ්පාදනය කරන ස්ථාන ඉතා අපිරිසිදුව පැවතුනා පමණක් නොව පැරණි පුස් සහිත පාන් ,බනිස් වැනි දෑ නැවත පාන් කුඩු සඳහා යොදාගන්න බවත් අනාවරණය වුණා.

ඇතැම් මුළුතැන් ගෙවල කටයුතු කරන පුද්ගලයින් රෝගී තත්ත්වයෙන් පසුවූවන් බවත් මහජන පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

මේ අතර ම්නිස් පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් තොගයක් වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබඩාවකට පාරිභෝගික සේවා අධිකාරිය මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.

විදේශයක සිට ආනයනය කෙරුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් තොගයක් ගබඩාවක ඇති බවට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශය මෙම වැටලීම සිදුකළා.

ඒ අනුව වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි අදාළ ගබඩාව පරික්ෂාවට යන විටත් එය අගුළු දමා වසා තිබුණු අතර , උපාය දූතයෙකු යොදවා ගබඩාව විවෘත කර ගැනීමෙන් අනතුරුව පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශයේ අංශ ප්‍රධානී උදය නාමල්ගම මහතා එය පරීක්ෂාවට ලක් කළා.

එම ගබඩාව තුල කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ උර 304 ක් තුල මිරිස් තොගය බහා තිබුණු අතර , එම උරවල ඒවා නිෂ්පාදිත දිනය , කල් ඉකුත්වන දිනය , බර ආදී අත්‍යවශ්‍ය විස්තර සඳහන්ව නොතිබුණු බවත් උදය නාමල්ගම මහතා පැවසුවා.

තවද මෙම වියළි මිරිස් තොගය ටිකින් ටික විවෘත වෙළඳපොළට මුදා හරිමින් තිබුණු බවද අනාවරණය වුණා.

එමෙන්ම මෙම මිරිස් තොගය අදාළ ප්‍රමිතීන්ගෙන් තොරවීම නිසා ප්‍රමිති ආයතනයෙන් ප්‍රතික්ෂේප වූ තොගයක් දැයි විමර්ශන සිදු කරන අතර ඒවායේ විෂ කාරකයක් වන ඇෆලටොක්සින් අඩංගුව ඇතිදැයි පරික්ෂා කිරීම සඳහා එහි සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

නිෂ්පාදනවල විස්තර නොමැතිව ගබඩා කිරීම , ඒවා ප්‍රමිතියෙන් තොරවීම යන කරුණු මත එහි හිමිකරු පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව බැඳුම්කරයක් මත මුදාහැරීමට කටයුතු කළා.

 

Share This