
වැලිගම ජා.ජ.බ. මන්ත්‍රීන් පැහැර ගත් බවට විපක්ෂය කියන ජීප් රථයක් මාධ්‍යට (VIDEO)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා පැමිණෙමින් සිටියදී පැහැර ගැනීමට ලක් වූ බව කියන ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනා පැහැර ගැනීමකට ලක්ව නොමැති බවත් මෙය හුදෙක් රංගනයක් බවත් වැලිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරනවා.
සිද්ධිය ඇසින් දුටු කාන්තාවක් ද එක්කර ගනිමින් පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය හිමි කර ගැනීමට කිසිදු පක්ෂයකට හැකියාව ලැබුණේ නැහැ.
ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබුණේ පසුගිය ජුනි මස 27 වැනිදායි.
එදින සභාවේ කටයුතු දකුණු පළාත් කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී ජාතික ජනබලවෙගයේ මන්ත්‍රීවරු පිරිසක් කියා සිටියේ සභාවාරය සඳහා පැමිණෙමින් සිටි ජාතික ජනබලවෙගයේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇති බවයි.
එලෙස පැහැරගෙන ගොස් තිබුණේ ජාතික ජන බලවේගයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ අජිත් ප්‍රියන්ත සහ කමනී අල්විස් නමැති මන්ත්‍රීවරු දෙපළයි.
කෙසේ වෙතත් එලෙස පැහැර ගැනීමට ලක් වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා එදින සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබුණා.
මේ අතර අදාළ මන්ත්‍රීවරු දෙපළ පැහැරගැනීමට ලක්වූවා යැයි චෝදනා එල්ල වන සුඛෝපභෝගී මෝටර් රථය එදින වැලිගම දෙසට ගමන් කරන සීසීටීවී දර්ශන මේවනවිට පොලිසියට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.