වික්‍රාන්ත් ඉන්දියාවේ අලුත්ම පිම්ම

වික්‍රාන්ත් ඉන්දියාවේ අලුත්ම පිම්ම

පළමු වරට දේශීයව නිපදවූ ගුවන් යානා නෞකාව දියත් කරමින් ඊයේ (02) ඉන්දියාව සිය “ක්වොන්ටම්” පිම්ම ලොව ඉදිරියේ ප්‍රදර්ශනය කළා.

මෙතෙක් තමන්ගේම ගුවන් යානා ප්‍රවාහක නැව් තැනීමේ හැකියාව තිබුණේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, ප්‍රංශය සහ චීනයට පමණයි.

වික්‍රාන්ත් දියත් කිරීමත් සමඟ ඉන්දියාව ටොන් 40,000කට වඩා වැඩි විස්ථාපනයක් සහිත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සැලසුම් කිරීමේ සහ ඉදිකිරීමේ හැකියාව ඇති සුවිශේෂී රටක් ලෙස ඔවුන් හා එක් වුණා.

ඊයේ (02) දිනයේදී කොචින් නැව් තටාංගනයේදී වික්‍රාන්ත් නෞකාව දියත් කරන ලද්දේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්.

වික්‍රාන්ත් නෞකාවත් සමග ක්‍රියාකාරී ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් ඉන්දියාව සතුයි.

එය කලාපීය සමුද්‍රීය ආරක්ෂා ව ශක්තිමත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ඇති බව ඉන්දියාවේ වගේම කලාපයේම විශ්වාසයයි.

රුසියාවේ නිෂ්පාදනයක් වන INS වික්‍රමාදිත්‍ය ඉන්දීය නාවික හමුදාවේ මෙහෙයුම් ගුවන් යානා ප්‍රවාහනය කරන අනෙක් නෞකාව යි.

වික්‍රාන්ත් නෞකාව අධිකාරියට පත් කිරීමත් සමඟ ඉන්දීය මෙන්ම ජාත්‍යන්තර මුහුදේ ද යාත්‍රා කරනු ලබනවා.

මෙහි කාර්‍ය මණ්ඩලය 1,700ක පමණ වෙනවා.

යුරේසියන් ටයිම්ස් වාර්තාවට අනුව, එය මීටර් 62 ක කදම්භයකින් සහ උස මීටර් 59 කින් යුක්තයි. තට්ටු 14 ක්. ඉන් පහක් පවතින්නේ සුපරි ව්‍යුහයේ, කාන්තා නිලධාරීන් සඳහා වූ විශේෂ මැදිරි ද ඇතුළුව 1,700 ක කාර්ය මණ්ඩලයකට නවාතැන් ගත හැකි මැදිරි 2,300 කින් ද සමන්විත බව සඳහන්.

නැව් ගුවන් යානා සෝපාන (හැංගරයේ සිට තට්ටුවට ජෙට් යානා රැගෙන යාම සඳහා) ටොන් 30 බැගින් ගෙන යා හැකි ධාරිතාවක් ඇති බවත්, තට්ටුවේ පියාසර මෙහෙයුම් වලට බාධාවක් නොවන පරිදි ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇති බවත් ද ට්‍රිබියුන් වාර්තා කර තිබෙනවා.

අභිමානවත් වික්‍රාන්ත් නෞකාව පිළිබඳව අදහස් දක්වන Cochin Shipyard Limited හි (CSL) සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ (CMD)මධූ එස් නයර් ( Madhu S Nair ) පවසන්නේ “වික්‍රාන්ත් යනු ආශ්චර්යයක්, එය ඉන්දියාව මෙතෙක් නිපදවා ඇති ඕනෑම යුධ නෞකාවකට වඩා ප්‍රමාණයෙන් පහේ සිට හත දක්වා වන ගුණයකින් විශාලයි” කියලයි.

මෙම නෞකාව දියත් කිරීම විශේෂයෙන් ආරක්ෂක සහ උපාය මාර්ගික වශයෙන් ඉන්දියාව ස්වයංපෝෂිත කරනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්‍යාලය අභිමානයෙන් පවසනවා.

ඉන්දීය නාවික හමුදාවේ යුද නැව් නිර්මාණ කාර්‍යංශය විසින් නිර්මාණය කරන ලද මෙය නවීනතම ස්වයංක්‍රීය අංගයන් ගෙන් සමන්විත වෙනවා.

එය ඉන්දියාවේ මෙතෙක් ඉදි කරන ලද විශාලතම නෞකාව ලෙසද ඉතිහාසයට එක් වනු ඇති.

ඉන්දියාවේ ප්‍රධාන කර්මාන්ත ආයතන වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ දේශීය උපකරණ සහ යන්ත්‍රෝපකරණ විශාල සංඛ්‍යාවකින් වික්‍රාන්ත් නෞකාව සමන්විත යි.

කොචින් නැව් තටාකාංගනය දැන් ඉන්දියාවේ මීළඟ ගුවන් යානා ප්‍රවාහන නෞකාව තැනීම සඳහා, වසර 2024 වන විට සූදානම් කිරීමට නව තටාකයක ආයෝජනය කරමින් සිටින බව නැව් තටාංගනයේ ප්‍රධානීන් විදෙස් මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබෙනවා.

ඊළඟ යාත්‍රාව ඉදි කිරීම සඳහා ඉක්මණින් අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එසේ වුවහොත්, වඩා වේගවත් බෙදාහැරීම් සඳහා සූදානම් වනු ඇති බවත් ඔහු එහිදී අවධාරණය කරනවා.

රුපියල්වලින් ගණනය කළහොත් උපකරණ සහ මිනිස් බලය සඳහා ඉන්දියාවෙන් මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200,000 ක්.

මෙයට වානේ ටොන් 23,000 ක්, විදුලි රැහැන් කිලෝමීටර් 2,500 ක්, පයිප්ප කිලෝමීටර් 150 ක් සහ කපාට 2,000 ක් සහ දෘඩ හල් බෝට්ටු, ගැලී උපකරණ, වායු සමීකරණ සහ ශීතකරණ කම්හල් සහ සුක්කානම් ආම්පන්න ඇතුළු පුළුල් පරාසයක නිමි භාණ්ඩ ඇතුළත්.

ඉන්දීය නාවික හමුදාව පවසන්නේ TATA, L&T, Wartsila සහ Kirloskar Pneumatics වැනි සමාගම් සහ ආයතන රාජ්‍ය අංශයේ Bharat Electronics Limited, Hindustan Aeronautics Limited සහ Mishra Dhatu Nigam (MIDHANI) සමඟ එක්ව මෙම උත්සාහය සාර්ථක කර ගත් බවයි.

වික්‍රාන්ත් නෞකාව යන්ත්‍ර සූත්‍ර මෙහෙයුම්, නැව් යාත්‍රා කිරීම සහ පැවැත්ම පිළිපඳ ඉතා ඉහළ ස්වයංක්‍රීයකරණයකින් යුක්තයි.

නවතම උපකරණ, පද්ධති හා ක්‍රමවේදවලින් සමන්විත මෙය එදා මෙදා තුර ඉන්දියාවේ නිපදවූ සුවිශේෂම යාත්‍රාව වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

ප්‍රධාන ශල්‍යාගාර, හදිසි ශල්‍යාගාර, භෞතචිකිත්සා සායනය, දැඩි සත්කාර ඒකකය, රසායනාගාර, සීටී ස්කෑනර්, එක්ස් කිරණ යන්ත්‍ර, දන්ත වෛද්‍ය සංකීර්ණය ඇතුළු නවීනතම වෛද්‍ය උපකරණ හා පහසුකම් සහිත අංගසම්පූර්ණ අති නවීන වෛද්‍ය සංකීර්ණයකුත් වික්‍රාන්ත් නෞකාව සතුයි.

ඊට අමතරව හුදකලා වාට්ටු වගේම ටෙලි වෛද්‍ය පහසුකම්වලින්ද යුක්තයි.

ski-jump ramp තාක්‍ෂණයෙන් ගුවන්ගත වීමේ ධාවන පථ දෙකක් ,ගොඩබෑමේ තීරුවක්, කෙටි ගුවන්ගත වීම් සඳහා ද පහසුකම් වික්‍රාන්ත් නෞකාවේ සුවිශේෂි අංග අතර වෙනවා.

ඒ වගේම Kamov-31 හෙලිකොප්ටර්, MH-60R බහුකාර්ය හෙලිකොප්ටර් සහ අනෙකුත් දේශීයව නිපදවන ලද දියුණු සැහැල්ලු හෙලිකොප්ටර් ද එමඟින් ක්‍රියාත්මක කෙරෙනවා.

ද ට්‍රිබියුන් වාර්තාවන්ට අනුව මෙම නෞකාවේ සමහර ආයුධ සහ උපකරණ ආනයනය කරන ලද ඒවා වන අතර දිගු දුර මිසයිල (LRSAM) ඊශ්‍රායල යෙන් හා ගුවන් සේවා සංකීර්ණය සහ MiG 29-K ජෙට් යානා රුසියාවෙන්ද සපයා ගෙන තිබෙනවා.

ප්‍රචාලන පද්ධතිය එකලස් කර තිබෙන්නේ ඉතාලි Fincantieri විසින්.

නෞකාවේ එන්ජින් හතර, LM 2500 ගෑස් ටර්බයින, එක්සත් ජනපද සමාගමක් වන ජෙනරල් ඉලෙක්ට්‍රික් වෙතින්, වන නමුත් එන්ජින් ඒකාබද්ධ කිරීමේදී HAL විසින් සැළකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

කෙසේ වුවත් සියලුම ආයුධ පද්ධති ඒකාබද්ධ කිරීම සිදු වන්නේ දේශීය සටන් කළමනාකරණ පද්ධතියක් (CMS) හරහායි.

නෞකාව වෙත MiG-29K ප්‍රහාරක යානා ගොඩබෑමේ අත්හදා බැලීම් නොවැම්බර් මාසයේදී ආරම්භ කර 2023 මැද භාගය වන විට අවසන් කරන බව උප මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් SN Ghormade ප්‍රකාශ කරනවා.

ඒ අනුව මෙම වසර අගදී වික්‍රාන්ත් වෙතින් දැඩි පියාසර මෙහෙයුම් අත්හදා බැලීමට නාවික හමුදාව සැලසුම් කර තිබෙනවා.

සමස්තයත් ලෙස 2023 අවසානය වන විට වික්‍රාන්ත් නෞකාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන්නේ, ටොන් 45,000ක් බරැති ප්‍රථම දේශීය ගුවන් යානා ප්‍රවාහන නෞකාව( INS Vikrant) දියත් කිරීමත් සමඟම ක්‍රියාත්මක වන වඩාත්ම දියුණු හා අතිශය සංකීර්ණ වේදිකාවක් වන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සැලසුම් කිරීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව “ක්වොන්ටම්” පිම්ම ප්‍රදර්ශනය කර ඇති බවයි.

 

Share This