විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා ගැන හෙළිදරව්වක්

විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා ගැන හෙළිදරව්වක්

විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදුවී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

මෙහිදී විගණක‍ාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබේදැයි සැක සහිත බවයි.

2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921 ක් සඳහා සුඛෝපබෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට 12 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 2.42ක් බවද මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම ප්‍රධාන ආයතන දෙකක් බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති බවද කමිටුවට අනාවරණය කර ඇති බව සඳහන්.

තවද අදාළ කාල සීමාවේ විදේශ ගත නොවූ පුද්ගලයින් හතරදෙනෙකු වෙනුවෙන්ද විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙහිදී හිටපු අමාත්‍යවරයාගේ වුවමනාව මත පෙර පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මේ සියල්ල සිදුකර ඇති බවටත් කෝපා කමිටුවට කරුණු අනාවරණය වී ඇති බව සඳහන්.

Share This