
විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මත පැටවීම නතර කරන්න – විපක්ෂ නායක
අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලිබල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ මේ වසරේ පළමු කාර්තුවේ දී විදුලිබල මණ්ඩලය බිලියන 18ක පාඩුවක් ලැබීම ආණ්ඩුවේ කළමනාකරණ දුර්වලතාව මනාව පෙන්නුම් කිරීමක් බවයි.
මෙම පාඩුව ජනතාව මත පටවමින් සියයට 20කට ආසන්න විදුලි ගාස්තු වැඩිකිරීමකට රජය කටයුතු කරමින් සිටින්නේ ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙනවා.
රජය පොරොන්දු වූ ආකාරයට විදුලි බිල තවත් සියයට 13කින් අඩු කිරීමට තිබියදී මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය තරයේ හෙළාදකින අතර මෙම තීරණයට එරෙහිව ජනතාව සමග එකට සිට ප්‍රජාතන්ත්‍රවාදී සටනක නිරත වීමට සමගි ජනබලවේගය කිසිසේත් පසුබට නොවන බව විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.