විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යූහගතකරණයෙන් පසු සේවකයින් 2000 කට ආසන්න පිරිසක් විශ්‍රාම ගන්න කැමැත්ත දීලා (VIDEO)

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යූහගතකරණයෙන් පසු සේවකයින් 2000 කට ආසන්න පිරිසක් විශ්‍රාම ගන්න කැමැත්ත දීලා (VIDEO)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වුණා.

ඒ අනුව ලංකා විදුලි බලමණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළෙ ආසන්න වශයෙන් මේ වන විට අයදුම්පත් 2000ක් පමණ ලැබී ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට අදාළව එය සමාගම් 04 කට බෙදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයින් එම ආයතන 04 ට අනුයුක්ත කිරීමට කටයුතු කෙරෙන අතර ඊට අකමැති නම් තමන්ගේ කැමැත්ත අනුව සේවකයින්ට වන්දි මුදලක් ලබා ගනිමින් විශ්‍රාම ගැනීමේ පහසුකම ද සපයා දී තිබුණා.

මේ පිළිබඳ නිවැරදි ගණනය කිරීම හෙට දිනයේදී ලබාදීමට හැකි බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මුළු සේවකයින් සංඛ්‍යාව 22,000ක් පමණ වන අතර ඉන් 20,000 ක පමණ පිරිසක් අලුතින් පිහිටුවන ලද සමාගම්වල සේවය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද වාර්තා වනවා.

විදුලි ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරි දිනයකදී අහෝසි කිරීමට නියමිතයි.

මේ අතර විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට නැවතත් පුබුදු නිරෝෂන මහතා පත්කර ඇති බව වාර්තා වනවා.

විදුලි ක්ෂේත්‍ර පතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වසරක පමණ කාලයක සිට පුබුදු නිරෝෂන මහතා කටයුතු කළ අතර ඒ මහතාගේ වසරක සේවා කොන්ත්‍රාත් කාලය ඉකුත් දා නිමාවට පත්වුණා.

ඉන් පසුව නැවතත් තවත් වසරක් සඳහා එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශය මත පුබුදු නිරෝෂන මහතා පත්කරන බව සඳහන් කරමින් ඊට අදාළ පත්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඒ මහතාට ලබාදී තිබුණා.

එම ලිපිය ලබාදෙන අවස්ථාවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විදෙස් ගතව සිටි බැවින් තමාට නොදන්වා එවැනි පත්වීම් ලිපියක් නිකුත් කර ඇති බව ඇමතිවරයා පැවසීමත් සමඟ පසුගිය දිනවල මත ගැටුමක් හටගත්තා.

ඒ අනුව අදාල පත්වීමේ ලිපිය ආපසු කැඳවා තිබුණා.

එහෙත් යළිත් මෙලෙස පුබුදු නිරෝෂන මහතා විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබෙන්නේ ඒ පිළිබඳව පාර්ශ්ව කිහිපයක් සමඟ කළ සාකච්ඡාවකින් පසුවයි.

Share This