
විදුලි ගාස්තු ඉහළ යයිද? නැතිද? අවසන් තීන්දුව
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
මහජන අදහස් හා සෙසු දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සිය තීරණය දැනුම් දෙන බවයි එම කොමිසමේ සංනිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවැසුවේ.
ජූනි 01වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව 18.3%න් ඉහළ දැමීමට අදාළව යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය මැයි මස 16වැනිදා මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කළා.
පිරිවැය ආවරණය කිරීම වෙනුවෙන් විදුලි ගාස්තු ගැලපීමක් සිදුකළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද නිර්දේශ ලබාදී තිබූ පසුබිමකයි ලංකා විදුලි බල මණ්ඩලය මෙම ගාස්තු සංශෝධනයක් සඳහා වූ යෝජනාවලිය ඉදිරිපත් කළේ.
එම යෝජනා පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගත් අතර, එහි අවසන් අදියර ඊයේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදීයී.
එහිදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ආදායම් වියදම් වාර්තාවක් ඉදිරිපත් කිරිමටද කටයුතු කර තිබූ බවයි වාර්තා වන්නේ.