විදුලිබල මණ්ඩලයට IOCයෙන් ඍජුවම ඉන්ධන මිලදී ගන්න සූදානමක් (වීඩියෝ)
ඉන්දීයන් ඔයිල් සමාගම හරහා විදුලිබල මණ්ඩලයට ඍජුවම ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා.
මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලින මහතා කියා සිටියේ මෙරටට ගෙන්වන ලද දැවිතෙල් තොග හෙට පස්වරුවේ අවසන් වීමට නියමිත ඇති අතර ඒ තුළින් ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි බවයි.
රට තුළ පවතින ඉන්ධන හා විදුලි අර්බුදයට මේ වන විටත් ස්ථීර විසඳුම් නොලැබීම හමුවේ තාවකාලික පිළියම් මත විදුලි ජනන ක්‍රියාවලිය සිදු වනවා.
පසුගිය සතියේ මහජන උපයෝගීතා කොම්සමේ උපදෙස් හා නියාමනයන්ට අනුව විදුලි උද්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ඉන්ධන තොග බලශක්ති අමාත්‍යංශයෙන් ලබා දුන් අතර ඒ අනුව අද (30) දිනය දක්වා විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමකට පියවර ගෙන තිබෙනවා.
එහෙත් අද සිට ඉදිරි කාලය තුළ විදුලි උද්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමේ අර්බුදයක් මේ වන විට නිර්මාණය වෙමින් ඇති බව විදුලි වෘත්තීය සංගම් පවසනවා.
විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ විදුලි ජනන ක්‍රියාවලියට අවශ්‍ය ඉන්ධන තොග ඉන්දීය ඔයිල් සමාගම හරහා විදුලි බල මණ්ඩලයට ඍජුව මිලදී ගැනීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදු කරන බවයි.
එමෙන්ම ඉදිරි සතිය සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටියා.
තවද කෙටි කාලීන විසඳුම් වශයෙන් පෞද්ගලික විදුලි බලාගාර තුළින් විදුලි බලාගැනීමේ වැඩපිළිවෙළක්ද මේ වන විට සැළසුම් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතාගේ උපදෙස් පරිදි විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට සහ ඉන්ධන ලබා ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා සිදු කරන බවද විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියා.
එමෙන්ම ඉන්දීය ඔයිල් සමාගමෙන් අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමේදී මුදල් අමාත්‍යංශය සමගද එක්ව කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විදෙස් මාධ්‍ය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ලබන පෙබරවාරි මැද හෝ මාර්තු මස මුල සිට විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවයි.
ඛනිජ තෙල් වෘත්තීය සමිති ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලින මහතා ප්‍රකාශ කළේ හෙට (31) පස්වරුවේ දැවි තෙල් තොග අවසන් වීම නිසා විදුලි උද්පාදන ක්‍රියාවලිය අර්බුදයට ලක්වන බවයි.