විදුලි සේවකයින් අද සිට  තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට (VIDEO)

විදුලි සේවකයින් අද සිට තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට (VIDEO)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයේ තවත් අදියරක් ලෙස අමාත්‍යංශ ලේකම්වරයා සහ අමාත්‍යංශය සමග සහයෝගයෙන් කටයුතු නොකිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

මේ අතර මහජන උපයෝගිතා කොමිසම වසා දැමීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සහිත පනත් කෙටුම්ත පසුගිය මස 26වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, ඒ සමඟ ඊට එරෙහි විරෝධතා දැඩි කිරීමට වෘත්තීය සමිති පියවර ගත්තා.

එම පනතට එරෙහිව වෘත්තීය සමිති පසුගිය මස 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා.

එහි දෙවන පියවර ලෙස පසුගිය මාස 17 සහ 18 යන දෙදින තුළ ලෙඩ නිවාඩු දැමූ විදුලිබල මණ්ඩල සේවකයින් කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණා.

මේ අතර වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට මෙන්ම අඛණ්ඩව විදුලිගාස්තු ඉහළ දැමීමේ උත්සාහයට එරෙහිවීමටද සිදුව ඇති බවයි.

ඒ අනුව අද පස්වරු 4.15 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා, අමාත්‍යංශ ලේකම්වරයා සහ අමාත්‍යංශය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමටයි වෘත්තීය සමිති තීරණය කර තිබෙන්නේ.

Share This