විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ හදිසි ඒකකයක් පිහිටුවයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ හදිසි ඒකකයක් පිහිටුවයි

ඇතිව තිබෙන ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පීඩාවට පත්ව සටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

මෙහි අරමුණ වී ඇත්තේ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්, ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ආධාර සම්බන්ධීකරණය කිරීම සඳහා හදිසි සම්බන්ධීකරණ ඒකකය කේන්ද්‍රීය ස්ථානය ලෙස ක්‍රියා කිරීමයි.

සියලුම ආධාර ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ යහපත සඳහා යොමු කරනු ලබන අතර, ක්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම මෙම ඒකකය මගින් සහතික කරනු ඇති.

ආධාර කළමනාකරණය කිරීමට අමතරව, විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකික ජාතිකයින්ට ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින ඔවුන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධීකරණය කිරීමත් මෙම ඒකකය මගින් සිදුකරනවා.

එමෙන්ම අවශ්‍යතා ඇති අයට ජාත්‍යන්තර සහයෝගය සහ විදේශයන්හි සිටින ආධාරකරුවන්ගේ සහාය කඩිනමින් සහ කාර්යක්ෂමව ළඟා කර දීමට ද පහසුකම් සැපයීම නව හදිසි ඒකකය මගින් සිදු කරනු අති.

ආපදාව සම්බන්ධයෙන් පුළුල් හා ඵලදායී ප්‍රතිචාරයක් තහවුරු කිරීමට මෙම හදිසි සම්බන්ධීකරණ ඒකකය ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සමීප සම්බන්ධකරණයෙන් යුතුව කටයුතු කි‍රීමට නියමිතයි.

Share This