
විනාශකාරී දේශපාලනයක් නැවත ඇතිවීමට ඉඩ නොදෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය යටතේ ලෝක වෙළෙඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වාදී ඇති බව සඳහන්.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වැනි සමුළුවට එක්වෙමින්.
තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
ආර්ථිකය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී රුපියලට දරා ගත නොහැකි තෙරපුමක් ඇති නොවන සේ කටයුතු කිරීමට වත්මන් රජය සංවේදී වූ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුකූලව යම් යම් තීන්දු ගැනීමට සිදුවූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
ආර්ථික පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු රාජ්‍යයක එම විශ්වාසය යළි ඇති කිරීම සඳහා වත්මන් රජය නිවැරදි තීන්දු තීරණ ගෙන ඇති බවත්, එම නිසා බංකොලොත් වූ රාජ්‍යය නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බවට තම රජය සහතික වන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව සඳහන්.
රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා ජපන් රජයෙන් නවතා තිබූ ආර්ථිකමය වශයෙන් වැදගත් වන ව්‍යාපෘති 11ක සහ චීන රජයෙන් නවතා තිබූ ව්‍යාපෘති 76ක වැඩ නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
සැලකිය යුතු ප්‍රමාණයකින් ආර්ථික ස්ථායිත්වයක් ආයෝජකයන් වෙත ලබා දීමට වත්මන් රජය මේ වන විටත් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
එබැවින්, මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමටත්, පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් මහා පරිමාණ ආයෝජන රැගෙන ඒමටත් වත්මන් රජයට හැකි ව තිබෙනවා.
ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන්.
එසේම, තරුණ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වෙළඳපොළ තුළටත් පියමං කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට වත්මන් රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියා.
ලංකාවේ ප්‍රබලතම දේශපාලන ස්ථාවරත්වය සහිත පාලනය සිය රජය විසින් ගොඩනඟනු ලැබ තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙතෙක් කල් බිහි වූ පාර්ලිමේන්තු තුළ මෙරට පුරවැසියා දුටුවේ වරෙක විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා පසුව ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීමත්, වරෙක ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයා හිටි හැටියේ විපක්ෂය නියෝජනය කිරීමත් බවද පවසා තිබෙනවා.
එවැනි තත්ත්වයක් වත්මන් පාර්ලිමේන්තුව තුළ නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආණ්ඩුව හා විපක්ෂය යනුවෙන් නිශ්චිත වෙන්වීමක් ඇති බවද පෙන්වාදී ඇති බව සඳහන්.
එය දේශපාලන ස්ථාවරභාවය පෙන්වීමට හොඳම නිදසුනක් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.
ආදර්ශමත් දේශපාලනයක් ශ්‍රී ලංකාව තුළ මේ වන විට ආරම්භ කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිහිපත් කර සිටියා.
එබැවින් වත්මන් රාජ්‍ය පාලනය අවසානයේදී විනාශකාරී දේශපාලනයක් නැවත ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තහවුරු කර තිබෙනවා.