
වීරකැටියේදී කෝටි එක හමාරක රත්‍රං ඉස්සූ ‘හැලඹ රමේෂ්’ පොලිස් දැලේ – “තැඹිලි ළහිරු” ට ඝාතනවලට යතුරු පැදිත් සපයලා
නිවෙසකට ඇතුළු වී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ සොරකම් කළ බව කියන‘හැලඹ රමේෂ්’නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් ඊයේ (16 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙම සැකකරු වීරකැටිය, පොල්තවානේ පදිංචි 36 හැවිරිදි එක්දරු පියෙකු බවයි.
සැකකරු දුම්වැටියක් මිලදී ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 9 වැනිදා වීරකැටිය, බැදිගම පිහිටි වෙළෙදසැලකට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඉහළ මාලයේ පිහිටි නිවෙසට ඇතුළු වී ඇති බව පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ නිවෙසෙහි තිබූ රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂ අසූදහසක් වටිනා රන්භාණ්ඩ, මුදල් සහ භාණ්ඩ මෙම සැකකරු විසින් සොරකම් කර ඇති බවයි.
සැකකරු අද වීරකැටිය බැදිගම ප්‍රදේශයේ වෑන් රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගේ සාක්කුවේ තිබී රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු රන් භාණ්ඩ පොලිසිය සොයා ගෙන ඇති අතර සැකකරු පැමිණි බව කියන වෑන් රියෙහි කැබින් එක තුළ තිබී මිලි මීටර නවය වර්ගයේ ජීව පතුරොම් 13ක් සහ ටී 56 පතුරොම් 2ක් ද පොලීසිය භාරයට ගෙන තිබුණා.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකරු සොරකමට පැමිණි බව කියන පාපැදියක්, සොරකම් කළ භාණ්ඩ විකුණා රුපියල් ලක්ෂ 21කට මිලදී ගත් වෑන් රථයක්, මුදලින් රුපියල් ලක්ෂ 17½ක්, මන්නා පිහියක් ද පොලීසිය පසුව සොයා ගත්තා.
පොලීසිය පැවසුවේ සැකකරුගේ නිවෙසෙහි මුදල් වළ දමා තිබූ බවයි.
මෙම සැකකරුට එරෙහිව මීට ඉහතදී සොරකම් හා හෙරොයින් සම්බන්ධ චෝදනා කිහිපයක් ඇති බව පොලිසිය පැවසුවා.
ඉකුත් ජූනි මාසයේදී මිද්දෙණිය, තෝරකොළයායේ සිදුවූ ද්විත්ව ඝාතනයට පැමිණි පුද්ගලයින්ට යතුරුපැදිය දී ඇත්තේ මෙම සැකකරු බවට ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ අනාවරණය කර ගත් තොරතුරු අනුව හක්මන පැවති සැනකෙළියකදී සොරකම් කළ යතුරුපැදියක් එලෙස ලබා දී ඇති බව හා ඒ වෙනුවෙන් “තැඹිලි ළහිරු” නම් සංවිධානාත්මක අපරාධකරුගෙන් මත්කුඩු ග්‍රෑම් 5ක් ලැබී ඇති බවයි.