වී මිල දී ගන්න රජය අද සිට ලෑස්තියි

වී මිල දී ගන්න රජය අද සිට ලෑස්තියි

මෙවර යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ වනවා.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ ඒ අනුව වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් කෝටි 600ක් වෙන්කර ඇති බවයි.

කෙසේ වෙතත් ගොවීන් මැසිවිලි නගන්නේ රජය විසින් ප්‍රකාශයට පත්කළ වී මිල ප්‍රමාණවත් නොවන බවටයි.

2025 යල කන්නයට අදාල වී අස්වනු නෙලීමේ කටයුතු උතුර සහ උතුරු මැද පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේවනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය දැනුම් දෙන්නේ අද සිට රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බවයි.

එමෙන්ම වී මිල පසුගිය කන්නයේ පැවති මිලටම පවත්වාගෙන යන බවට වී අලෙවි මණ්ඩලය දැනුම් දුන්නා.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120 ක මිලකටත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 ක මිලකටත් රජයේ වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගේ වී මිලදී ගනු ඇති.

මෙවර යල කන්නයේ අස්වනු මිලදී ගැනීමේදී තෙත වී සඳහාද මිලක් නියම කිරීමට රජය පියවර ගෙන තිබූ අතර ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102කටත් තෙත සම්බා වී කිලෝවක් රුපියල් 105කටත්, තෙත කිරී සම්බා වී කිලෝවක් රුපියල් 112කටත් මිලදී ගැනීමටයි තීරණය කෙරුණේ.

මේ අතර කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති ප්‍රදේශවල රජයේ වී ගබඩා අද සිට විවෘත වී තිබෙන බවයි.

 

Share This