
ශ්‍රී ලංකාව දැඩි දේශගුණික අවාදනම්වලට මුහුණ දීමට සිදුවෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
කඩිනම් පියවර නොගතහොත් ශ්‍රී ලංකාව දැඩි දේශගුණික අවාදනම්වලට මුහුණ දීමට සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
2060 වසර වන විට වී අස්වැන්න 12– 41% කින් පහත වැටීමක් සිදුවන බවත් 2050 වන විට මත්ස්‍ය අස්වැන්න 20% කින් අඩුවීමක් සිදුවන බවට ද ඔහු අන්තුරු අගවනවා.
එමෙන්ම වාර්ෂික යටිතල පහසුකම්වල පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 0.38 ක් වන බවට පුරෝකථනයන් කර ඇති බවත් මෙකී දේශගුණික ආශ්රිත බලපෑම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.86% ක් අඩු කිරීමට හේතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
මාලදිවයින් හිටපු ජනාධිපති සහ දේශගුණික අවධානම් සංසදයේ (Climate Vulnerable Forum) මහලේකම් මොහොමඩ් නෂීඩ් මහතා සහභාගී වූ පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළා.
පාර්ලිමේන්තුවේ පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ අංශික අධීක්ෂණ කාරකසභාව දේශගුණික අවධානම් සභාව (CVF) සහ අවදානම් කරුවන්ගේ 20 (V20) කණ්ඩායම සමග විශේෂ කමිටු රැස්වීමක් පාර්ලිමේන්තුවේදි පැවැත් වුණා.
දේශගුණික අවදානම් සභාව (Climate Vulnerable Forum) මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා 2009 වසරේ ආරම්භ කල අතර, වර්තමානයේ එහි මහලේකම්වරයා ලෙස කටයුතු කරනවා.
රටවල් 74ක් සාමාජිකත්වය දරන මෙම සභාව ක්‍රියාකරන්නේ දේශගුණික අවදානම් වල ගිලී සිටින රටවල් සදහා සහයෝගිතා වේදිකාවක් ලෙසයි.
පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ අංශික අධීක්ෂණ කාරකසභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කටයුතු කරනවා.
දේශගුණික විපර්යාස පනතක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම, තනි භාවිත ප්ලාස්ටික් තහනම් කිරීම සහ පැරිස් ගිවිසුම යටතේ දේශගුණික මූල්‍ය වෙත ප්‍රවේශ වීම සඳහා ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් ඇතිකර ගැනීම යන ඉල්ලීම් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කර තිබෙනවා.
එමෙන් ම ශ්‍රී ලංකාවේ සීමිත මූල්‍ය අවකාශය අවධාරණය කරමින් ඔහු දූපත් ජාතීන් සඳහා සකස් කරන ලද සම්පත්, තාක්ෂණය සහ මූල්‍ය කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ද ඉල්ලා සිටියා.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ අනාගතයේ සිදුවිය හැකි අවදානම වෙනුවෙන් වර්තමානයේ සිටම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.