ශ්‍රී ලංකාව දෙවනි එක්දින තරගයත් පාකිස්තානය හමුවේ පරදී

ශ්‍රී ලංකාව දෙවනි එක්දින තරගයත් පාකිස්තානය හමුවේ පරදී

පාකිස්තානය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් ත‍රගාවලියේ දෙවැනි එක්දින තරගයත් පහසුවෙන් ජය ගැනීමට ඊයේ (14) පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

රාවල්පින්දි හි දී ඊයේ පාකිස්තානය තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණඩායමට ආරාධනා කළා.

ආරම්භක කඩුල්ලට ලකුණු 51 ක් ලබා ඉතා හොඳ සම්බන්ධයක් ගොඩනගා ගනිමින් සිටි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 24 කට දුවද්දී දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 51 ව තිබිය දීයි.

අනෙක් අන්තයේ ක්‍රීඩා කරමින් සිටි ආරම්භක පිතිකරු කමිල් මිෂාර ලකුණු 27 කට දැවී ගියේ මුලු ලකුණු 62 ක්ව තිබියදීයි.

මුලු ලකුණු සංඛ්‍යාව 90 ක් වෙද්දී කුසල් මෙන්ඩිස් ලකුණු 20 කට දැවී ගිය අතර යලිත් අසාර්ථක ඉනිමක් ඇ‍රඹූ නායක චරිත් අසලංක ලකුණු 6 කට සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියා.

සධීර සමරවික්‍රම සහ ජනිත් ලියනගේ ඉවසිලිවන්ත ඉනිම් ක්‍රීඩාකරමින් මුලු ලකුණු සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළට ඔසවා තැබුවා.

සධීර දැවී ගියේ ලකුණු 42 ක් ලබා සිටියදීයි.

ජනිත් ලියනගේට එක්වූ කමිඳු මෙන්ඩිස් නැවත් ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබමින් ලකුණු 232 ක් දක්වා ගෙන ආවස්ථාවේ කමිඳු ලකුණු 44 ක් ලබා සිටිය දී දැවී ගියා.

ලකුණු 54 ක් ලබා සිටි ජනිත් ලියනගේ දැවී ගියේ මුලු ලකුණු 241 ක් ලෙස තිබියදීයි.

දුෂ්මන්ත සමීර ලකුණු නොලබාම යලි ක්‍රීඩාගාරයට හැරී ගිය අතර සටන අත් නොහැර වනිදු හසරංග අනෙක් අන්තයේ සිට ක්‍රියාත්මක වුණා.

ප්‍රමෝද් මදුෂාන් ඔහුට අනගි සහයක් දෙමින් ලකුණු 11 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

වනිදු ලකුණු 37 ක් රැස්කළේ පන්දු 26 ක් තුලයි.

ඒ අනුව නියමිත පන්දු වාර 50 තුල ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් රැස්කර සැනසිලිදායක ඉනිමක් ගොඩ නැගුවා.

පිළිතුරු ඉනිම ඇරඹූ පාකිස්තාන පිතිකරුවන්ට කිසිදු අභියෝගයක් ශ්‍රී ලංකා පන්දු ‍යවන්නන්ගෙන් එල්ල වූයේ නැහැ.

ආරම්භක පන්දුවන්නන් වූ අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මදුෂාන් ට රිසි සේ බැට දෙමින් පළමු පන්දු ඕවර 10 නිමාවන විට ලකුණු 77 ක් රැස්කළේ එක් කඩුල්ලක් පමණක් ලබා දෙමින්.

දුර්වල පන්දු රැකීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනුනා.

සියාම් අයුබ් ලකුණු 33 කට දැවී ගියේ දුෂ්මන්ත සමීරගේ පන්දුවක් හමුවේයි.

අනෙක් ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු 77 කට දැවී ගියේත් දුෂ්මන්ත සමීර ගේ පන්දුවකටයි.

බාබර් අසාම් නොදැවී ලකුණු 102 ක් සහ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 51 ක් ලබා ගනිමින් පාකිස්තානයේ ජය තහවුරු කළේ මන්දු 48 පන්දු 2 ක් තුල ලකුණු 289 ක් ලබාගනිමින්.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග 2 ම ජය ගෙන මේ වනවිටත් පාකිස්තානය තරගාවලියේ ජය හිමිකරගෙන සිටිනවා.

 

Share This