
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක්, 2025 ඔක්තෝබර් 5 සිට 12 දක්වා බාබඩෝස් හි බ්‍රිජ්ටවුන් හි පැවති 68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට (CPC) සහභාගී වුණා.
“පොදුරාජ්‍ය මණ්ඩලය – ගෝලීය සහකරුවෙක්” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්විණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) විසින් සංවිධානය කරන ලද මෙම සමුළුවට සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය පුරා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූණා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම, අන්තර්කරණය හා විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සාමාජික ව්‍යවස්ථාදායකයන් අතර ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම අරමුණු කරගනිමින් සමුළුව සංවිධානය වී තිබිණි.
ශ්‍රී ලංකා නියෝජිත පිරිසට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය, වරාය හා සිවිල් ගුවන් සේවා ගරු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන පොදුරාජ්‍ය මණ්ඩලීය ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (CPwD) ආසියානු කලාපීය ප්‍රවර්ධක සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සාගරිකා අතාවුද, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, මුජිබුර් රහුමාන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපීය ලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීහු ඇතුළත්ව සිටියා.
කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් , “වෛරය නොව විවාදය: නිදහස් භාෂණයේ ප්‍රතිඵලයක් ලෙස අපයෝජනය පිළිනොගැනීම” යන මාතෘකාව යටතේ පැවති වැඩමුළුවේ ප්‍රධාන කථිකයෙකු ලෙස සිය දායකත්වය ලබා දුන් අතර විකල්ප සාමාජිකාවක් ලෙස CPA ආසියානු කලාපය නියෝජනය කරමින් CWP මෙහෙයුම් කමිටුවටද සහභාගී වූණා.
“ආබාධ සහිත කාන්තාවන් දේශපාලනයේ යෙදීමට ඇති බාධක ජය ගැනීම” යන මැයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ (CWP) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (CPwD) ඒකාබද්ධ වැඩමුළුවේදී, ආබාධ සහිත කාන්තාවන් දේශපාලනය තුළ බලගැන්වීම පිළිබඳව පෝල්රාජ් මහත්මිය සිය අදහස් දැක්වූවාය.
විශේෂයෙන් ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය, අන්තර්කරණය සහ ස්ත්‍රී පුරුෂ භාවයට ප්‍රතිචාර දක්වන පාලනයක් සඳහා මෙරට කැපවීම නැවත තහවුරු කරමින් ප්‍රධාන විවාදයේදී දේශනයක් පැවැත්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපීය ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සමඟ CPA ආසියානු කලාපීය විධායක කමිටු රැස්වීමේ මුලසුන දැරූ අතර, එහිදී සාමාජික පාර්ලිමේන්තු අතර කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුවූ බවයි වාර්තා වන්නේ.
සමුළුවට සමගාමීව අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ ශ්‍රී ලංකා දූත පිරිස සිංගප්පූරු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ක්‍රිස්ටෝපර් ද සූසා මහතා සමඟ ද්විපාර්ශ්වික හමුවකටද එක්වුණා.
මෙහිදී සංචාරක ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු විය. සංචාරක ප්‍රවර්ධනයට සහ තිරසාර ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා දෙරට පාර්ලිමේන්තු සහ ජනතාව අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වයේම එකඟත්වය මෙහිදී පළ විය.
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (CPwD) ආසියානු කලාපීය ප්‍රවර්ධක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, පොදුරාජ්‍ය මණ්ඩලීය ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (CPwD) සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, දේශපාලනය තුළ ආබාධ සහිත පුද්ගලයින්ගේ අන්තර්කරණය, ප්‍රවේශ්‍යතාවය සහ අර්ථවත් සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවලට දායක විය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපීය ලේකම්වරිය ලෙස සමුළුවට සහභාගී වූවාය.
68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවේදී (CPC), ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම, පාලනය සඳහා ඩිජිටල් පරිවර්තනයන් ප්‍රවර්ධනය කිරීම, පාර්ලිමේන්තු සහ මැතිවරණවල මූල්‍ය විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය අභියෝගයක් වන දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීම වැනි ගෝලීය තේමාවන් ඔස්සේ ඉහළ මට්ටමේ වැඩමුළු සහ වැඩසටහන් රැසක් ද පැවැත්විණි.