ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සහ බෝලගල ප්‍රවීණ රණවිරු නිවස්නය නියෝජ්‍ය ආරක්‍ෂක ඇමතිගේ නිරීක්ෂණයට

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සහ බෝලගල ප්‍රවීණ රණවිරු නිවස්නය නියෝජ්‍ය ආරක්‍ෂක ඇමතිගේ නිරීක්ෂණයට

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා (12) ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සහ බෝලගල ප්‍රවීණ රණවිරු නිවස්නයේ සංචාරයක නිරත වුණා.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් එම පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව ඔවුන් ප්‍රවීණ රණවිරු නිවස්නයේ සංචාරය නිරත වූණා.

එහිදී, පැවති තේ පැන් සංග්‍රහය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා එහි නේවාසික රණවිරුවන් සමඟ සුහද පිළිසදරක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් සොයා බැලීමට කටයුතු කළා.

සේවා මුක්ත සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහ ඉදිකිරීම් සිදුකිරීමට යෝජිත නව ඉඩමේ නියෝජ්‍ය අමාත්‍යවරයා සංචාරයක නිරත වූයේ ඉන් අනතුරුවයි.

මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා එම ව්‍යාපෘතියේ කටයුතු නිසි ප්‍රමිතියකින් යුතුව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ව්‍යාපෘති භාර නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරි මණ්ඩලය සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී රණවිරු නිවස්නයේ නේවාසික රණවිරුවන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දැනට මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කළා.

Share This