ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ලක්ෂ ගණනක් උතුරු ඉන්දියාවේ සංචාරයේ

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ලක්ෂ ගණනක් උතුරු ඉන්දියාවේ සංචාරයේ

සෑම වසරකම ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ලක්ෂ ගණනක් උතුරු ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

මෙම වසර මුලදී, ඉන්දියානු දුම්රිය සහ ආහාර සැපයුම් සංස්ථාව ‘අධ්‍යාත්මික දුම්රිය ගමනක්’ හරහා බෞද්ධ වන්දනා චාරිකා සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් නව්‍ය යෝජනා ක්‍රමයක් සකස් කරන ලද අතර මෙය විශේෂයෙන් ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ඉලක්ක කර ආරම්භ කරන ලද්දක් බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බෞද්ධ බැතිමතුන්ට නවාතැන් දීමටත්, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පුරාණ බෞද්ධ ස්ථාන සංවර්ධනය කිරීමටත් ඉන්දියාව දැඩි උනන්දුවක් දක්වා ඇති අතර උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ නේපාලයේ සියලුම ප්‍රධාන බෞද්ධ ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථාන එමගින් ආවරණය කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව සැකසුනු විශේෂාංගයකි මේ.

ශ්‍රී ලාංකිකයන්ද ඇතුළුව බෞද්ධ බැතිමතුන්ට නවාතැන්දීමටත්, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පුරාණ බෞද්ධ ස්ථාන සංවර්ධනය කිරීමටත් ඉන්දියාව දැඩි උනන්දුවක් දක්වා ඇති බව දැකීම දිරිගන්වන සුළුය.

බෞද්ධ වන්දනා ස්ථාන සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ඉදිකරන ලද කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබුවේ මීට මද කලකට පෙරය. කුෂිනගර් වෙත ගිය මංගල ගුවන් යානය වෙන්කර තිබුනේ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ ඇතුළු වන්දනාකරුවන්ටය.

ජපානය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, නේපාලය සහ අනෙකුත් බුදුදහම පිළිපදින රටවල් සමග හවුල් වී ඉන්දියාව ලොව පුරා බෞද්ධ උරුමයන් ප්‍රවර්ධනය කර ආරක්ෂා කරන බව පසුගිය වසර අවසානයේදී මහා නොයිඩා හි රැස් වූ බෞද්ධ විද්වත්හු ප්‍රකාශ කළහ. ඉන් කියවෙන්නේ ඉන්දියාව අද වන විට වසර 2300කට පසුවත් නැවත ලොව ප්‍රධාන බෞද්ධ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බවයි. එම නිසාම ටිබෙට් ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම දලයි ලාමාතුමා පවා ඉන්දියාව සිය නිවෙස බවට පත්කර ගැනීමට කටයුතු කර ඇත.

බුදුදහම මානව වර්ගයාට ගැලවීමේ මාවත පෙන්වාදුන් ලෝකයේ ප්‍රමුඛතම දර්ශනයක් ලෙස අද වන විට පරිණාමයවී තිබේ.එම දර්ශනය ප්‍රබෝධමත් වී ලොව පුරා පැතිර ගියේ වර්තමානයේ කුසිනාරා නමින් හඳුන්වන නුවරදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුවය.

සාරානාත් යනු බුදුන් වහන්සේ සිය ප්‍රථම ධර්මදේශනය දේශනා කළ ශුද්ධ භූමිය වන බැවින් පුරාණ කාලයේ සිටම එය බුදුදහමේ සහ අධ්‍යාත්මිකත්වයේ කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත.සාරානාත් යනු ඉසිපතනය ලෙස කලින් හැඳින්වූ, උත්තර් ප්‍රදේශ්හි, බරණැස සිට කිලෝමීටර් 13ක් ඊසාන දෙසින් පිහිටි කුඩා ගම්මානයකි. ඉතිහාසගත සාක්ෂිවලට අනුව, ඉන්දියාවේ කුෂිනගර්හි පිහිටි පරිනිර්වාණ ස්ථූපය හෙවත් මහා පරිනිර්වාණ විහාරය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ ස්ථානය යැයි හඳුනාගෙන ඇත.

ඇලෙක්සැන්ඩර් කනිංහැම් නම් ඉතිහාසඥයා මෙම ප්‍රදේශයේ ඔහුගේ වැඩ කටයුතු සඳහා විශාල ලෙස යොදාගත් අතර, අවසානයේ ගෞතම බුදුන් වහන්සේ එහිදී පරිනිර්වාණයට පත් වූ බව ඔහු ස්ථිරවම ඔප්පු කළේය. ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් බුදුරජාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ කථාන්දර සඳහන් කරන ලද පැරණි සෙල්ලිපි කිහිපයක් සොයාගැනීමෙන් සහ ගෞතම බුදුන් වහන්සේගේ කාලය දක්වා දිවෙන පුරාවිද්‍යාත්මක නටබුන් පරීක්ෂා කිරීමෙන් මෙය සනාථ කෙරිණි.

බෞද්ධ දර්ශනය සහ එහි ඉගැන්වීම් හඹායෑමේදී, බොහෝ විට අශෝක අධිරාජ්‍යයා බුදුදහමේ යහපැවැත්ම සඳහා තමා සතු සියල්ල මුදා හැරියේය. ඔහු ස්ථූප අලුත්වැඩියාව හා ආරාම ගොඩනැගීම සඳහා විශාල ලෙස අරමුදල් ලබාදුන්නේය. අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශවලට ඔහුගේ පෞද්ගලික සම්බන්ධතා හරහා සාමය සහ ඉවසීමේ පණිවිඩ පතුරුවා හැරියේය. ඔහු සිරකරුවන්ට සමාව දුන්නේය. වහලුන් නිදහස් කළේය. සියලුදෙනාටම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය. ඔහු ඉන්දීය උප මහාද්වීපයේ තුන්වන අධිරාජ්‍යයා විය. ඉන්දියාවේ මෙම බලවත් අධිරාජ්‍යයා ප්‍රචණ්ඩත්වය අත්හැර රට දැහැමි රාජාණ්ඩුවක් බවට පත්කළේය. ත්‍යාගශීලී ආකල්පයක් ඇති උදාර පාලකයකුගේ ගුණාංග ඔහු වර්ධනය කළේය. අවිහිංසාව සහ මෛත්‍රිය වැනි බෞද්ධ මූලධර්ම තම පාලනය තුළ ක්‍රියාත්මක කිරීමට අශෝක අධිරාජ්‍යයා උත්සාහ කළේය. ඔහු යුක්තිය, සුභසාධනය සහ ආගමික ඉවසීම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ අතර දරිද්‍රතාවය සහ දුක් වේදනා අවම කිරීමට ක්‍රියාකාරීව කටයුතු කළේය. ඔහු තම ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා රෝහල් සහ මාර්ග වැනි පොදු වැඩ පද්ධතියක් ද වර්ධනය කළේය. ඇෆ්ගනිස්ථානය ඇතුළු සිය සබඳතා පවතින සියලුම යාබද දේශයන් පුරා බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමට ඔහු සැලකිවයුතු දායකත්වයක් ලබා දුන්නේය. අධිරාජ්‍යයා දූතයන් මාර්ගයෙන් මිත්‍ර ජාතීන් සමග අදහස් හුවමාරු කර ගත් අතර, ඉන්දියාවෙන් ලද ශ්‍රේෂ්ඨතම ත්‍යාගය වන බුදුදහම සමඟ තම පුත්‍රයා ශ්‍රී ලංකාවට එවීය.

අශෝක අධිරාජ්‍යයාගේ තෝරාගැනීම් සුවිශේෂී වූයේ, ඔහු තම සාම්ප්‍රදායික මිතුරා වූ දේවානම්පියතිස්ස සමග ගනුදෙනු කිරීම සඳහා ඔහුගේම පුත් මිහිඳු මහරහතන් වහන්සේ තෝරා ගැනීමයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ මෙහෙවර වූයේ ඉන්දියානු සාගරයේ ඉතා කුඩා කඳුළු බිඳුවකට සමාන දිවයිනේ දිගු කලක් පැවතීම සඳහා බුදුදහම දායාද කිරීමයි. අශෝක අධිරාජ්‍යයා මිහිඳු මහරහතන් වහන්සේවම මෙම මෙහෙයුම සඳහා තෝරාගැනීම නිර්භීත පියවරක් විය. තම පුත්‍රයාට හොඳ පිළිගැනීමක් ලැබෙනු ඇති බවත්, එම ලංකාව බුද්ධාගම වැළඳගනු ඇති බවත්, එමඟින් එහි පැවැත්ම සහ ප්‍රචාරණය සහතික වන බවත් අශෝක අධිරාජ්‍යයා විශ්වාස කළේය.

ඒ අනුව බලන විට සමස්ත ඉතිහාසය පුරා, ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු උතුම්ම දායාදය බුදුදහමයි. එම ගමන් මගේම පැමිණ, ආසන්න වශයෙන් වසර 2300 කට පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද ඉන්දීය සාගර කලාපයේ උපායමාර්ගික හවුල්කරුවන් ලෙස අන් කවරදාටත් වඩා සමීප වී ඇත. බුදුදහම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්සත් කිරීමේ බලවේගයක් වී ඇති අතර, දෙරට අතර ආගමික හා සංස්කෘතික අවබෝධයේ ශක්තිමත්භාවය තර කර තිබේ. මෙම හවුල් අවබෝධය සමීප දේශපාලන සබඳතාද සක්‍රීය කර ඇත. එසේම, මෙය දෙරටට ඉන්දියානු සාගර කලාපයේ උපායමාර්ගික හවුල්කරුවන් ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට කදිම වේදිකාවක් නිර්මාණය කරදී තිබේ.

අතීතය හරහා පැමිණ අද දවස වන විටත් බුද්ධාගම දෙරට අතර තවදුරටත් හුවමාරු වන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පමණක් නොවේ. එය රටවල් දෙකේ සාමාන්‍ය ජනතාව අතර කෙරෙන සාමාන්‍ය ක්‍රියාවලියක් බවටද පත්ව තිබේ. ඒ ‘වන්දනා’ සහ ‘සංචාර’ හරහාය. විශේෂයෙන් ශ්‍රී ලාංකික බැතිමත්හු ඉන්දියාවේ බෞද්ධ උරුමයන් නැරඹීම සහ වන්දනා කරගැනීම භාග්‍යයක් කොට සළකති. එම නිසාම, ඒ අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් ඉන්දියාවද මෑත කාලීනව පහසුකම් රැසක් සපයා ඇති බව දැකගත හැකිය.

 

Share This