ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කළා.

පසුගිය සැප්තැම්බර් මස 15 වන දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව ඊයේ (31) ප්‍රකාශයට පත් කළා.

එම තීන්දුව අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත ක්‍රියාත්මක කිරීම සඳහා පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේදී මතභේදාත්මක ප්‍රශ්න තුන ඉවත් කර ඇගයීම් සිදු කිරීම, අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම සහ I ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම යන නිර්දේශ තුන ලබා දුන්නා.

ඒ අතරින් සුදුසුම ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කළ අතර මෙම එක් එක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඇතිවිය හැකි හිතකර මෙන්ම අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ලබාදිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම ලෙස අංක 2හි සඳහන් පරිදි අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණයත් සමග ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවද කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයෙන් සඳහන් කරන්නේ.

Share This