
කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් පිළිසකර කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙහිදී නිලධාරින්ගෙන් විමසූ ජනාධිපතිවරයා අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
පරිසර පොලීසිය බලගැන්වීම සහ ප්‍රජා කමිටුවල සක්‍රීය දායකත්වය ලබාගැනීම තුළින් අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කිරීමේ ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.