
සංචාරක ක්ෂේත්රයේ සහ ආයෝජන ක්ෂේත්රයේ ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කිරීමට විශේෂ පොලිස් ඒකකයක්
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සංචාරක ක්ෂේත්රය තුළ පැනනගින නොයෙක් ගැටලු නිරාකරණය කර දීම සඳහා සහ ආයෝජන ක්ෂේත්රය තුළ දෙස් විදෙස් ආයෝජකයන්ට ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කර දීම සඳහා විශේෂ ඒකකයක් ශ්‍රී ලංකා පොලීසිය තුළ ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් දී තිබෙනවා.
මෙම විශේෂ පොලිස් ඒකකය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.
ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්රය තුළ ආයෝජකයින්ට ඇතිවන ගැටලු සහ ඒවාට පිළියම් යොදන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.
මෙහිදී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් ආයෝජන ක්ෂේත්රය තුළ ආයෝජකයින්ට මෙතෙක් ඇතිවූ සහ ඉදිරියේ දී ඇති විය හැකි නොයෙක් ගැටලු සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි ආකාරය පිළිබඳව ද අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
මීට අමතරව සංචාරක ක්ෂේත්රය තුළ ද සංචාරකයන්ගෙන් අයුතු ලෙස මුදල් ගැනීම, ඔවුන්ට හිරිහැර කිරීම ආදී ක්‍රියාවන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීමට ඉදිරියේ දී මෙම ඒකකය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇති බව අපේක්ෂා කරයි.