
සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ජපානය සමඟ එක්ව කැප වෙනවා (PHOTO)
සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ජපානය සමඟ එක්ව කැප වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා අතර නිල සාකච්ඡා වේදියි
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැවැත්වුණා
ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් ජපාන ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාරද පිළිගැන්වූ අතර එම පෙළපාළිය නිරීක්ෂණය සඳහාද ජනාධිපතිවරයා එක් වුණා
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතීන දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන, ආර්ථික, සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ආදී කරුණු ආවරණය කෙරෙන පරිදි විවිධ ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණා
දෙපාර්ශ්වය අතර සංවර්ධන සහාය (Official Development Assistance) තවදුරටත් පිළිබිඹු කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සහ නිල ආරක්ෂක ආධාර ලබා දීමේ වැඩසටහන (Official Security Assistance- OSA) පිළිබඳ හුවමාරු පත්‍ර අත්සන් තැබීමද මෙහිදී සිදු කර තිබෙනවා
ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා සඳහන් කළේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ඉතා තීරණාත්මක බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවයි
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ ශක්තිමත් පුද්ගල සබඳතා මත පදනම් වී තිබෙන බව මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළා
ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා ශ්‍රී ලංකා-ජපාන සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එම එකඟතාවල සැබෑ ප්රතිලාභ අත් කර ගනිමින් සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් යන ගමනේදී ජපානය සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා
ජපාන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කරමින් එහි ප්රතිලාභ ජනතාවට ලබා දීම වෙනුවෙන් ජපන් රජය දැක් වූ සහාය මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබා දුන් දායකත්වය වෙනුවෙන්ද ජපාන රජය වෙත ස්තූතිය පළ කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා අතර පැවති නිල සාකච්ඡාවලින් පසු දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා
මින් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්රමුඛ දූත පිරිස වෙත පිරිනමන ලද භෝජන සංග්‍රහයටද ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහභාගී වුණා