
සචිත්‍ර සේනානායකට එරෙහි නඩුවක් මාර්තු 15 යළි කැඳවයි
මෙරට පැවති පළමු ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වු ක්‍රීඩකයන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ව තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ මාර්තු 15 දින යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද(1) නියෝග කළා.
මාර්තු 15 දින තෙක් ඔහුට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසද අධිකරණයෙන් නියම කළා.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බලා අධිකරණයෙන් එලෙස විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරනු ලැබුවා.
එම සිද්ධියට අදාල දෙවන සැකකරුට දෙසැම්බර් 25 වෙන දිනට පෙර ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයේ පෙනීසිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ඉංග්‍රීසි භාෂාවෙන් නොතිසියක් නිකුත් කරන ලෙස විමර්ශන නිලධාරීන් පෙර නඩු දිනයේදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එසේ නොතෙසි නිකුත් කරනු ලැබුවේ සිද්ධියට අදාල දෙවැනි සැකකරුහටයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ පළමුවැනි සැකකරු වන සචිත්‍ර සේනානායකට පැමිණිලි දෙකක් තිබෙන බවයි.
තරිඳු රත්නායක නමැත්තා විසින් ගොනුකර තිබෙන පැමිණිල්ලට අදාලව මේ වනවිට මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බවත් මෙම සිද්ධියට අදාලව තිබෙන දෙවන පැමිණිල්ල මෙම අධිකරණයේ විභාග වන බවද විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ සඳහන් කර සිටියේ ධම්මික ප්‍රභාත් විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව විනාඩි 45 ක සංවාදයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවයි.
මෙම සිද්ධියට අදාල ප්‍රධාන සාක්ෂිය මේ වන විට විනාශ වී ඇති බවද නීතිඥවරයා පෙර නඩු දිනයේදී සඳහන් කළා.
එම සිද්ධියට අදාල හඬ පටය මෙහි අනිත් පැමිණිල්ල වන අධි චෝදනා ගොනුකරන ලද නඩුවට අදාලව මහාධිකරණයට ලබා දී ඇති බවද එහිදි නීතිඥවරයා සඳහන් කළා.
තවද සිද්ධියට අදාල පළමුවැනි සැකකරු ඩුබායි රාජ්‍යයේ රැකියාව කරන බැවින් විදෙස් ගතවීමට අවසර ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මාර්තු 15 දින නඩුව යළි කැඳවීමට නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත මුදා හැර සිටිනවා.
