සඳුදා එළියට එන බදු තොරතුරු

සඳුදා එළියට එන බදු තොරතුරු

බදු සම්බන්ධයෙන් වන සියළු තොරතුරු සඳුදා දිනයේදී හෙලිදරව් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කෙතරම් බදු පැනෙව්වද, හිඟ බදු නිසි පරිදි එකතු කර නොගන්නා බවට චෝදනා එල්ල වුවත් මෙම වකවානුවේ තරම් හිඟ බදු අයකර ගැනීමට පියවර ගත් හා ඒ සඳහා කටයුතු කොට, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට පියවර ගත් වෙනත් වකවානුවක් නොමැති බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව බදු සම්බන්ධයෙන් වන සියළු තොරතුරු හෙලිදරව් කිරීම සඳහා සඳුදා දිනයේදී අදාළ සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

හිඟ බදු අයකර ගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ නවත්වා බලපෑම් කර, එම හිඟ බදු මුදල් අයකර ගැනීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බව සඳහන් කළ රංජිත් සියඹලාපිටිය මහතා, රජය නිසි පරිදි රාජ්‍ය ආදායම කලමනාකරණය කිරීමට පියවර ගෙන ඇති බවයි පවසන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඔවුන් සෑම විටම අප රටේ මූල්‍ය කළමණාකරණය පිළිබඳව සොයා බැලූ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

යම් අයෙකුගේ පරමාර්ථය රට නැවතත් මීට දෙවසරකට පෙර තිබූ තත්ත්වයට ඇද දැමීම නම් , ඔවුන් සඳහන් කරන ආකාරයට තමන් බලයට පැමිණයහොත් IMF ගිවිසුම සංශෝධනය කිරීම කළ හැකි බව සඳහන් කළ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, මෙම ගිවිසුම මේ රටේ මීට දෙවසරකට පෙර පැවතියාක් මෙන් ප්‍රශ්න යළි ඇති නොවන්නට ගත යුතු පියවර සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවයක් වන බැවින් එහි ආපසු වෙනස් කරන්නට කිසිදු දෙයක් නොමැති බවයි සඳහන් කළේ.

Share This