සපුගස්කන්ද අද සිට වැසේ -ඉන්ධන හිඟයක් ඇති නොවන බව ඇමති කියයි

සපුගස්කන්ද අද සිට වැසේ -ඉන්ධන හිඟයක් ඇති නොවන බව ඇමති කියයි

සපුගස්කන්ද පිරිපහදුව අද (03 දා) සිට වසා දැම්මත් රටේ ඉන්ධන හිඟයක් ඇති වන්නේ නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසන බව  දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ බොර තෙල් ගෙන ඒමට යම් බාධාවක් ඇති වුවත් එම තත්ත්වය මේ මාසය අවසන් වන විට විසඳා ගැනීමට හැකියාව පවතින බවට තමන් විශ්වාස කරන බව ද ඇමැතිවරයා සඳහන් කරනවා

එමෙන්ම මේ වන විට රටට ඩීසල් සහ පෙට‍්‍රල් පිරිපහදු තෙල් නැව් දෙකක් ගෙන්වා තිබෙන බවත්, එහි ඉන්ධන ගොඩබෑමට අවශ්‍ය ඩොලර් ගැටලූව පසුගිය සිකුරාදා (31 දා) විසඳා ගැනීමට හැකි වූ බවත් ඇමැතිවරයා පවසනවා

මේ අතර ඛනිජ තෙල් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ  මෙරටට ගෙන්වා ඇති ඩීසල් සහ පෙට‍්‍රල් නැව් දෙකේ ඉන්ධන ගොඩබෑම සඳහා ඊයේ(02) සවස් වනතෙක් මුදල් ගෙවීමක් කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අද(03) තීරණයක් ගැනීමට නියමිත බවට වාර්තාවන බව ද ඔහු කියා සිටිනවා

ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 40,000 ක් ඇතුළත් ඩීසල් නැව මෙරටට පැමිණියේ පසුගිය 26 වැනිදා බවත්, ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 35,000 ක් අයත් පෙට‍්‍රල් නැව මෙරටට පැමිණියේ පසුගිය 28 වැනිදා බවත්  ඛනිජ තෙල් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

පෙට‍්‍රල් නැවේ 92 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 35,000 ක්ද 95 වර්ගයේ මෙටි‍්‍රක් ටොන් 5000 ක් ද තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ .

ඉන්ධන ගොඩබෑමට පැමිණි නැවක් ඉන්ධන ගොඩබෑම දින තුනකට වඩා ප‍්‍රමාද වන්නේ නම් එක් දිනකට ඩොලර් 25,000 බැගින් ප‍්‍රමාද ගාස්තු ගෙවන්නට සිදුවන බවත් සපුගස්කන්ද බලාගාරය වසා දැමීම නිසා දෛනික ඩීසල් අවශ්‍යතාවයෙන් සියයට 29 ක්, පෙට‍්‍රල් අවශ්‍යතාවයෙන් සියයට 14 ක් මෙන්ම භූමිතෙල් අවශ්‍යතාවයෙන් සියයට 100 ක් ම අහිමි වන බව ද ඛනිජ තෙල් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

එල්.පී. ගෑස් නිෂ්පාදනයට සියයට 05 ත් 10 ත් අතර ප‍්‍රමාණයක් අහිමි වීම මෙන්ම දැවිතෙල් නිෂ්පාදනය නතර වීමෙන් ඉදිරියේදී විදුලි අර්බුදයකට යෑමට පවා සිදුවන බවයි  ඔහු පවසන්නේ

 

Share This