සමාජ , ආර්ථික නොසන්සුන්තා හමුවේ අවදානමට ලක්වන විදෙස් ආයෝජන

සමාජ , ආර්ථික නොසන්සුන්තා හමුවේ අවදානමට ලක්වන විදෙස් ආයෝජන

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ නොසන්සුන්තාවයන් සහ දේශපාලන කැලඹීම් හමුවේ විදේශයන්හි ක්‍රියාත්මක වන චීන සමාගම් අර්බුද කළමනාකරණ සැලසුම් සකස් කළ යුතු බව අවදානම් පාලන උපදේශන හවුල්කරුවෙකු වන ක්‍රිස් ටොරන්ස් අවධාරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති අර්බුදකාරී ස්වභාවය, නැගී එන වෙළෙඳපොළවල දේශපාලන අවදානම පිළිබඳව චීන ආයෝජකයින්ට අනතුරු හඟවමිනුයි.

ඵලදායී අර්බුද කළමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සහ කළ යුතු දේ පිළිබඳ අවබෝධය සහතික කිරීම සඳහා නිරන්තර අධ්‍යයනයේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය සිහිපත් කර දෙන බව ඔහු එහිදී සදහන් කර තිබෙනවා.

උග්‍ර ආහාර සහ ඉන්ධන හිඟයෙන් ඇවිළුණු ශ්‍රී ලංකාවේ දැවැන්ත විරෝධතා පසුගිය සතියේ උච්චතම ස්ථානයට ළඟා වූයේ කෝපයට පත් විරෝධතාකරුවන් , ඉල්ලා අස්වීමට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසට කඩා වැදී එය අත්පත් කර ගැනීමත් සමයි.

මේ අතර පසුගිය මාසයේ කරච්චි නගරයේ වීදි බැසීමට ජනතාව පෙළඹවූ අධික උද්ධමනය සහ දිගුකාලීන විදුලි කප්පාදුව වැනි පාකිස්ථානය වැනි ඉහළ ණයගැති, සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් රටවලද ශ්‍රී ලංකාවේ වැනි අවුල් සහගත තත්ත්වයක් ඇතිවනු ඇතැයි ආර්ථික හා දේශපාලන විශේෂඥයින් සැක පළ කර තිබෙනවා.

ෂැංග්හායි හිෆුඩාන් විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන මහාචාරය ලින් මින්වැන්ග් පවසන්නේ විදේශයන්හි ආයෝජනය කිරීමේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර පරිසරය යහපත් නොවන විට ආයෝජකයින්ට දේශීය පාලනයේ ධාරිතාව සැලකිල්ලට ගැනීම අවශ්‍ය බවයි.

මේ අනුව යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට සම්බන්ධ සමාගම් දැඩි අවදානයකින් පසුවනවා.චීන වාණිජ අමාත්‍යාංශයට අනුව, චීන සමාගම් 100 ක් පමණ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර, වසර 2020 අවසන් වන විට චීන ජාතිකයින් 3,400 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ සේවය කර තිබෙනවා.

වර්තමාන තත්ත්වය වඩාත් සංකීර්ණ හා අස්ථාවර බැවින් සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින ලෙස පසුගියදා වීඩියෝ සබැඳිය හරහා පැවැති රැස්වීමකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු සෙන්හොන්ග් චීන සමාගම්වලට උපදෙස් දෙනු ලැබුවා.

හදිසි සැලසුම් වැඩිදියුණු කිරීමට සහ අවශ්‍ය අධ්‍යයනයන් සිදු කරන ලෙස ඔහු වැඩිදුරටත් මෙහිදී චීන සමාගම්වලින් ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාවේ අනවශ්‍ය කාර්ය මණ්ඩල සංඛ්‍යාව අඩු කරන ලෙසත් සැපයුම් ගබඩා කරන ලෙසත් මෙහිදී උපදෙස් දුන් තානාපති කාර්යාලයේ උපදේශකයකු චීන සමාගම් වෙත අවධාරණය කර සිටියේ භූමියේ සහ අවට ප්‍රජාව සමඟ ධනාත්මක අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් දූෂණය පැතිරීමට සහ ආවේණික ණය ගැනීම්වලට අවකාශ සැලසුනු බවයි බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ.

මුළින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිමා කිරීමටත්, පසුව යටිතල පහසුකම් ඇති කිරීමටත්, තවත් සිංගප්පූරුවක් බවට පරිවර්තනය කිරීමටත් විශාල මුදලක් ණය වශයෙන් පොම්ප කිරීමෙන් චීනය විසින් ලබා දුන් ණය පිළිබඳව ජනතාවටද නොරහසකි.

චැතම් හවුස් දත්ත වලට අනුව, චීනය වසර 2006 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 12.1 කි.

වසර 2005 සිට 2015 දක්වා බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජය ණය හුවමාරුවක කොටසක් හම්බන්තොට වරාය වසර 99කට චීනයට පවරා දීම ඇතුළු සැළකිය යුතු යටිතල පහසුකම් ව්‍යාපෘති රැසකට එක් කර ගත්තා.

මෙහි විශේෂත්වය වන්නේ ආර්ථික සංවර්ධනය සඳහා ආධාර ලබා දෙමින් චීනය වැඩ කිරීමට කටයුතු කිරීමයි. මෙම කාලය තුළ සිදු වූ ආධාර සහ සහාය ලබා දීම, දූෂණයට සමගාමීව සිදු වූ බවටයි චෝදනා එල්ල වුණේ.

ශ්‍රී ලංකාව සඳහා අනුගමනය කරන ලද චීන ආර්ථික සංවර්ධන ආකෘතියේ එක් පැතිකඩක් වන්නේ, විශේෂිත ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන චීන සමාගම් අතලොස්සක් ආයෝජන පාලනය කිරීම සඳහා වියුක්ත ගිවිසුම් සහ ණය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් වැඩි පොලී අනුපාත ලබා දීමයි.

පකිස්ථානයටද චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව (CPEC) හරහා මීට සමාන තත්වයක් උදා වූ අතර, එහිදී චීන සමාගම් පමණක් ව්‍යාපෘතිවල යෙදිය යුතු බව බලපෑම් කෙරුණු බව ප්‍රසිද්ධ වූ කරුණකි.

චීන ආයෝජනවල මුල් බැස ගැනීම කෙතරම් ගැඹුරුද යත් එය විසංයෝජනය කළ නොහැකි මට්ටමක පවතින බව ශ්‍රී ලංකාවේ ආණ්ඩු වෙනස් වීමත් සමඟ එනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 දී බලයට පත් වූ විට හඳුනා ගත හැකි වූ බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

චීනය ශ්‍රී ලංකාව තුළ මහාමාර්ග, වරාය සහ ගුවන් තොටුපළවල් ඉදිකිරීම සඳහා යොදවා ඇති මුදල් බාහිර ණයවලින් 10 %ක් පමණ වුවත් එය රටේ වත්මන් මූල්‍ය පදනම සකස් කළ බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

නමුත් බීජිං එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට යටත්විජිතවාදයට සහ එක්සත් ජනපදයේ පොලී අනුපාත ඉහල යාම පිළිබඳව චෝදනා කරයි. ශ්‍රී ලංකාව පමණක් නොව ණය අර්බුදයන්ට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් සංඛ්‍යාව වැඩි වීම චීන ආයෝජනවලට ඇති අවදානම ඉහළ නංවා ඇති බව ඔවුහු අවධාරණය කරනවා.

Share This