
සරත් ෆොන්සේකා ඝාතන තැතේ නඩුව කල් යයි
කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඔහු ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් 03කට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය එළැඹෙන අගෝස්තු මස 04 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අද (16) නියම කර තිබෙනවා.
එහිදී අද සාක්ෂි දීමට නියමිතව සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරිය අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 04 වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.
2006 වසරේ අප්‍රේල් මස 25 වනදා කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරය හරහා ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ විත්තිකරුවන් 03කට එරෙහිව චෝදනා 27ක් මත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.