‘සසුන් කෙත අස්වද්දමු’ – කුල දරුවන් 70ක් එකවර පැවිදි දිවියට (VIDEO)

‘සසුන් කෙත අස්වද්දමු’ – කුල දරුවන් 70ක් එකවර පැවිදි දිවියට (VIDEO)

සම්බුදු, ශාසනයේ චිර පැවැත්ම උදෙසා දායකත්වය ලබාදෙමින් අනාගත ශාසනය රැක ගැනීමට අඩිතාලම යොදමින් කුල දරුවන් 70ක් එකවර පැවිදි දිවියට ඇතුළත් කරලීමේ මහා පිංකම පසුගිය දා කළුතර බෝධි පරිශ්‍රයේ දී සිදු කෙරුණා

‘සසුන් කෙත අස්වද්දමු’ නම් වූ මෙම මහා පිංකම ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති හා වැඩ බලන උත්තරීතර මහානායක අති පූජනීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි පැවැත්වුණේ

විචිත්‍රවත් පෙරහරකින් රැගෙන එනු ලැබූ කුල දරුවන් කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සංවිධානයෙන් එකම අවස්ථාවක සිදු කළ අතර බලපිටිය ප්‍රාචීන විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත බලපිටියේ සීවලී නාහිමි, මහමෙව්නාවේ මංගල නා හිමි, අම්බලන්ගොඩ සුමේධානන්ද නාහිමි, අහංගම මෛත්‍රී මූර්ති නාහිමි ඇතුළු අමරපුර සංඝ සභාවේ සියලු විද්වත් යති හිමිවරුන් මෙම අවස්ථාවට සම්බන්ධ වුණා

මීට අමතරව අති පූජනීය මහා නා හිමියන් ප්‍රමුඛ සසුන් කෙත අස්වද්දමු ව්‍යාපෘතියේ ආරාධනයෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති හා ලයිකා සමූහයේ නිර්මාතෘ ආචාර්යය අලිරාජා සුභාස්කරන් මැතිතුමා, ප්‍රේමා දර්ශනී සුභාෂ්කරන් මැතිනිය, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය හා විස් මාධ්‍ය ජාලයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ධම්මික තෙන්නකෝන් මහතා, බෙන් හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මුතුකුඩ විජේසිංහ ආරච්චිගේ පුෂ්ප කුමාර මහතා, ලයිකා ප්‍රඩක්ශන් උප සභාපතිනි ජානකී විජේරත්න මහත්මිය ඇතුළු ලයිකා සමූහයේ නිලධාරි පිරිසක් ද මෙම පුණ්‍ය උත්සවයට එක්ව සිටියා.

එහිදී, සම්බුද්ධ ශාසනයේ හා අමරපුර භික්ෂුන් වංශයේ චිරස්ථිතිය උදෙසා කරනු ලබන මෙම සසුන් කෙත අස්වද්දමු ව්‍යාපෘතිය උදෙසා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති හා ලයිකා සමූහයේ නිර්මාතෘ ආචාර්යය අලි රාජා සුභාෂ්කරන් මැතිතුමා විසින්ම මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කෙරුණා

මෙම අවස්ථාවේ දී අතිගරු මහානායක ධූරන්ධර කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නා හිමියන් වෙතින් ලයිකා සමූහයේ සභාපතිතුමන්ට සමරු තිළිණයක්ද ප්‍රදානය කිරීම සිදු කළ අතර එතුමන් විසින් සිදු කරන ශාසනික සේවාවන් පිළිබඳව මහා නා හිමියන් සිය ප්‍රශංසාව ද පළ කර තිබෙනවා

ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන්, කළුතර බෝධි භාරකාරය මණ්ඩලය වෙනුවෙන් අජිත් ද සොයිසා, අෂාන් ද සොයිසා, ධර්මසිරි ද සිල්වා යන මහත්වරු ප්‍රමුඛ ගිහි දායක පිරිසක් මෙම මහා පින්කම උදෙසා සම්බන්ධ වී සිටියා

 

Share This