සැත්කමක් කළත් ‘සේවක වර්ජනය නිසා’ රැක ගත නොහැකි වූ ජීවිතය

සැත්කමක් කළත් ‘සේවක වර්ජනය නිසා’ රැක ගත නොහැකි වූ ජීවිතය

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය හේතුවෙන් රෝහලෙන් කළයුතු එක්ස්රේ හා ස්කෑන් පරීක්‍ෂණ අදාළ අංශවලින් කරවාගත නොහැකි වීමෙන් ශල්‍යකර්මයකට ලක්කළ කාන්තාවක් පෙරේදා (9 දා) බිබිල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහලේදී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ  බිබිල නන්නපුරාව – වැලිපිටිය,  තල්ගහවත්තේ 85 හැවිරිදි කාන්තාවක් .

මියගිය  කාන්තාව  උදරාබාධයක්  හා  හුස්ම  ගැනීමේ  අපහසුතාවක් හේතුවෙන් පසුගිය 08දා රාත්‍රියේ ඇගේ ඥාතීන් විසින්  රෝහලට  ඇතුළත්  කර  තිබෙනවා .

නමුත් සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝහලේදී කරගත යුතුව තිබූ එක්ස්රේ  හා  ස්කෑන්  පරීක්‍ෂණ  කර  ගැනීමට නොහැකි වී ඇති බවයි පැවසෙන්නේ.

අදාළ අංශවලින් එම පරීක්‍ෂණ කරදෙන ලෙස වරින්වර ඉල්ලීම් කළත් එය ඉටු වී නැති අතර එම නිසා රෝගී කාන්තාවගේ ඥාතීන්ට එම පරීක්‍ෂණ බාහිර  ස්ථානයකින්  කරගැනීමට  සිදුවීම  නිසා  ප්‍රමාදයක්  සිදුව තිබෙන බව සඳහන්.

සෞඛ්‍ය වැඩ වර්ජනය නිසා හදිසි ප්‍රතිකර්ම සඳහා අවශ්‍ය පරීක්‍ෂණ රෝහලේදී සිදු නොවූවද සායනික අනුමානයන්  මත  සිදුකළ ශල්‍ය  කර්මයේදී  පෙරේදා(09)  එම  කාන්තාව මියගොස් තිබෙනවා .

මේ පිළිබඳ බිබිල – මහාචාර්ය සේනක  බිබිලේ  අනුස්මරණ  රෝහලේ  වෛද්‍ය අධිකාරීවරයා කියා සිටින්නේ එම   කාන්තාවගේ මරණය පිළිබඳව තමාට පැමිණිල්ලක්  ලැබී  ඇති  අතර,  ඒ  පිළිබඳ  විධිමත්  විමර්ශනයක් සිදුකොට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Share This