
සැප රියක් වසර අටක් ව්‍යාජ අංක තහඩු සහිතව පැද්ද මුල්ලේරියාවේ පුද්ගලයෙක් රිමාන්ඩ්
නීති විරෝධී ආකාරයට කොටස් එකලස් කර සකස් කරන ලද ව්‍යාජ අංක තහඩු සහිත මිට්ෂුබිෂී වර්ගයේ පෙජරෝ රථයක් වසර අටක් තිස්සේ භාවිතා කළ බව කියන සැකකාර පුද්ගලයෙකු හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (16)නියෝග කළා.
එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මුල්ලේරියාව නව නගරයේ පදිංචිකරුවකු වන ගුණසිරි පුෂ්පකුමාර නමැත්තකුයි.
සැකකාර පුද්ගලයා ව්‍යාජ අංක තහඩු සහිත කොටස් එකලස් කර සකස් කරන ලද පෙජරෝ වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව පොලිසිය වෙත භාරදුන් බව පැමිණිල්ල මෙහෙයවූ පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට දන්වා තිබුණා.
සිද්ධියට අදාළව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු එම මෝටර් රථය 2017 වර්ෂයේදී කිසියම් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලකට ලබාගෙන ඇති බවත් පසුව ඔහු එම මෝටර් රථය සඳහා ව්‍යාජ අංක තහඩු හා ආදායම් බලපත්‍රයක් සකස් කරගෙන භාවිතා කර ඇති බවට කරුණු අනාවරණය වන බවද පෙලිස් කොස්තාපල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ තම වාහනයේ බලපත්‍රය නැති වූ බව පවසමින් සැකකාර පුද්ගලයා 2018 වසරේදී කැලණිය පොලිස් ස්ථානය වෙත අසත්‍යය පැමිණිල්ලක් කර ඇති බවයි.
එම වාහනය භාවිතා කරමින් සැකකාර පුද්ගලයා කිසියම් අපරාධ කටයුත්තක් සිදු කර තිබේද යන්න පිළබඳව හා ඔහු රථ වාහන වැරදි සිදුකර තිබේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.