සිරගෙදරින් අවසන් වූ ඉන්දියා – පාකිස්ථාන් ඔන්ලයින් ආදර කතාව

සිරගෙදරින් අවසන් වූ ඉන්දියා – පාකිස්ථාන් ඔන්ලයින් ආදර කතාව

අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් පාකිස්ථාන තරුණියක් හා විවාහ වී ව්‍යාජ ලේඛන සකස් කර නීතිවිරෝධී ලෙස ඇයව ඉන්දීයාවට ගෙන්වා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ 21 හැවිරිදි මුලායම් සිං යාදව් නම් එම පුද්ගලයා මෙලෙස තම රටට ගෙන්වා ගෙන ඇත්තේ පකිස්ථානයේ සිටි 19 හැවිරිදි ඉක්රා ජීවනී නම් කාන්තාවයි.

මීට වසර තුනකට පෙර අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කරමින් සිටියදී මුණගැසීමත් සමග මෙම ආදර සබඳතාවය ආරම්භ වී තිබුණා.

කෙසේ වෙතත් ඉන්දියාව සහ පකිස්ථානය අතර අර්බුදකාරී තත්ත්වයන් සමඟ ඔවුන්ට එකිනෙකා බැලීමට යාම සඳහා වීසා ලබා ගැනීම ද දුෂ්කර වූ බව සඳහන්.

මේ හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔවුන් නේපාලයට ගොස් එහිදී හින්දු චාරිත්‍රානුකූලව විවාහ වි ඇති අතර පසුව ඉන්දියාවේ බැංගලෝර් නගරයට ගොස් ජීවත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නව යුවලට පසුගිය ජනවාරි මාසයේ දී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු වුණා.

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීම නිසා ජීවනී අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අතර යාදව් අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ නිසි ලියකියවිලි නොමැතිව විදේශිකයෙකුට නවාතැන් සැපයීම යන චෝදනාවලටයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඇය පසුගිය සතියේ පකිස්ථානයට පිටුවහල් කර ඇති අතර යාදව් බැංගලෝරයේ සිරගත කර ඇති බවයි.

යාදව් බැංගලෝරයේ තොරතුරු තාක්ෂණ සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර ජීවනී පකිස්ථානයේ හයිද්‍රාබාද් නගරයේ ශිෂ්‍යාවක් වනවා.

Share This