“සිරි දළදා වන්දනාව” අදින් ඇරඹේ (VIDEO)

“සිරි දළදා වන්දනාව” අදින් ඇරඹේ (VIDEO)

වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” අදින් (18) ආරම්භ වනවා

ඒ අනුව සමාරම්භක අවස්ථාව පැවැත්වෙන්නේ දහවල් 12.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන්.

එමෙන්ම, විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වීමට නියමිත අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් කැටුව යාමටයි සූදානම් කර ඇත්තේ

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි

ආරම්භක දිනය වන අද (18) දින ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව හිමි වනවා

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ 20කට අධික දෙස් විදෙස් බැතිමතුන්ගේ පැමිණීම අපේක්ෂා කරන අතර අදාළ කාලය තුළ ශ්‍රී දළදා වහන්සේගේ සහ දළදා මාලිගාව අවට පරිශ්‍රයේ ආරක්ෂාව, පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා

සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන් පැමිණීමේදී සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත්, විශාල ප්‍රමාණයේ ගමන් මළු, කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විද්‍යුත් උපකරණ ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසයි පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ

මීට අමතරව බැතිමතුන් පැමිණෙන වාහන මහනුවර නගරයට ඇතුළු වීම නවතා ඇති අතර ඒ සඳහා ස්ථාන කිහිපයක වාහන ගාල් කිරීමට සූදානම් කර ඇති අතර බැතිමතුන් පොදු ප්‍රවාහන මගින් ශ්‍රී දළදා මාලිගාව දක්වා ප්‍රවාහනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර දළදා වන්දනාව සඳහා පැමිණ නගරයේ රැය පහන් කරන බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව මඟින් විශේෂ දන්සල් දෙකක් ක්‍රියාත්මක කරන අතර එමඟින් දෛනිකව 30,000කට ආහාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා

ඊට අමතරව දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත දන්සල් ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයන් හා සංවිධාන 200කට ආසන්න සංඛ්‍යාවක් මහනුවර මහ නගර සභාවෙන් ඉල්ලීම් කර ඇති බව සඳහන්

Share This