සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් කළ බවට ඒකාබද්ධ නිවේදනයක්

සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් කළ බවට ඒකාබද්ධ නිවේදනයක්

“සිරි දළදා වන්දනාව” සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාලිගාව විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත වසර 16කට පසුව දිවමන් බුදුරජාණන් වහන්සේ හා සමාන වූ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලද වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දැක වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව චිරාගත සම්ප්‍රදායානුකූලව සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ලබාදීමට අප්‍රේල් 18 දින සිට 27 වන දින දක්වා පුරා දින දහයක කාලයක් උදා කර දීමට කටයුතු කළ බවයි අදාළ නිවේදනයෙන් සඳහන් කරන්නේ.

මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි සහ අස්ගිරි මහනායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්ථවිරයන් වහන්සේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අදාළ ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මෙතෙක් සිදුවූ විශාලතම මහජන ඒකරාශී වීම සනිටුහන් කළ මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය සහ අනුග්‍රහය ලබාදීමට විශාල පිරිසක් කටයුතු කළ අතර ශ්‍රී දළදා වන්දනාව ආරම්භ කිරීමට ආරාධනා කළ අවස්ථාවේ පටන් පෙර රජ දවස සිට පැවති චාරිත්‍රානුකූලව මේ සම්බන්ධව සියලු කටයුතු පෞද්ගලිකව සොයා බලමින් දළදා වන්දනවා උදෙසා සපැමිණි ලක්ෂ සංඛ්‍යාත මහජනතාව වෙනුවෙන් අවශ්‍ය කරන සියලු පහසුකම් සලසා දෙමින් රාජ්‍ය යාන්ත්‍රණයේ සහයෝගය හා දායකත්වය අවශ්‍ය සියලුම කටයුතු ඉමහත් ඕනෑකමින් සිදුකරදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එම නිවේදනය මගින් ස්තූතිය පළ කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම කාර්යය සඳහා ඉමහත් දායකත්වය ලබාදෙනු ලැබූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා, ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයට ද මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු සහ දියවඩන නිලමේවරයා ස්තූතිය පළ කර තිබෙනවා.

දිවා රෑ නොතකමින් ශ්‍රී දළදා වන්දනාව සඳහා සේවය සලසා දුන් ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාවව මෙන්ම ගමන් මළු පර්යන්ත කළමනාකරණය සඳහා සහයෝගය ලබාදුන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයඇතුළු කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු රජයේ නිලධාරීන්ට මෙන්ම මාධ්‍ය ආවරණ ලබාදුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු මාධ්‍ය ආයතන වෙත ද අදාළ නිවේදනය හරහා ස්තූතිය පළ කර ඇති බව සඳහන්.

Share This