සිව්වැනි දකුණු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක්

සිව්වැනි දකුණු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක්

සිව්වැනි දකුණු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය අරඹමින් පළමු දිනයේදීම ලක් මවට රන් පදක්කම් 4ක් දිනා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා.

එමෙන් මෙවර දකුණු ආසියාවේ වේගත්වම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවත් ශ්‍රී ලංකාවෙන් බිහිවීම කැපී පෙනුණා.

සිව්වැනි දකුණු ආසියානු මළල ක්‍රීඩා ශුරතාවලිය 17 වසරකට පසුව ඊයේ ඉන්දියාවේ රංචි හිදි උත්සවශ්‍රීයෙන් ආරම්භ වුණා.

දින තුනක් පුරාවට පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල් හයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික පිරිසක් සහභාගී වී සිටිනවා.

ඒ අනුව තරගාවලිය සමාරම්භක දිනයට ජයග්‍රාහී ආරම්භයක් ගෙන දුන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 4ක් ලක් මවට දිනා දුන්නා.

එහිදී මෙවර දකුණු ආසියාවේ වේගත්වම ක්‍රීඩකයා ලෙසින් පිරිමි මීටර් 100 අවසන් මහා තරගයේ රන් පදක්කම දිනා ගැනීමට චමෝද් යෝධසිංහ සමත් වුණා.

තරගාවලි වාර්තාවක්ද සමඟින් ඔහු තරගය නිම කළේ තත්පර 10 දශම 30ක දක්ෂතාවයක් දක්වමින්.

එමෙන් ම මෙවර දකුණු ආසියාවේ වේගත්වම ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන් බිහිවීමත් කැපී පෙනෙන සිදුවීමක් වුණා.

ඒ කාන්තා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම නව තරගාවලි වාර්තාවක්ද සමඟින් ශ්‍රී ලංකාවේ ශාෆියා යාමික් විසින් දිනා ගැනීමත් සමඟයි.

ඇය තත්පර 11.53කින් තරගය නිම කරද්දී එහි රිදී පදක්කමත් ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා විසින් දිනා ගත්තා.

මේ අතර පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ පසිඳු මල්ශාන් මීටර් 16 සෙන්ටිමීටර් 19ක දුරක් පනිමින් එහි රන් පදක්කම ලක් මවට දිනා දීමට සමත් වුණා.

එලෙස පිරිමි තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි වෙද්දී කාන්තා තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කමත් නව තරගාවලි වාර්තාවක්ද සමඟින්
දිනා ගැනීමට මදුශානි හේරත් ක්‍රීඩිකාව සමත් වුණේ මීටර් 13 සෙන්ටිමීටර් 36ක දක්ෂතාවයක් දක්වමින්.

එමෙන්ම මීටර් 12 සෙන්ටිමීටර් 79ක දුරක් දක්ෂතාවයක් දැක්වූ ශ්‍රී ලංකාවේ ශශිනි උපේක්ෂා එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා.

එලෙස ඉන්දියාව තුළ ශ්‍රී ලාංකික ධජය බැබළෙද්දී කාන්තා යගුලිය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ ඔවිනි චන්ද්‍රසේකර සහ පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ මිතුන් රාජ් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක් දිනා දුන්නා.

එමන්ම පිරිමි මීටර් 5000 ඉසව්ව නියෝජනය කළ වික්නරාජ් වක්ශන් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් අතර මීටර් 4X400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි වුණා.

එලෙස දකුණු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන්, රදී, ලෝකඩවලින් ලක් මව සරසද්දී බහරේන් හිදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී තවත් ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දිනා දුන්නා.

පිරිමි හෙල්ල විසිකිරිමි ඉව්වෙන් චතුර දුලාංජන මීටර 62 සෙන්ටිමීටර් 51ක් දුරක් හෙල්ලය විසි කරමින් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා.

එමෙන් ම පිරිමි මීටර් 400 ඉසවේන්ද ලෝකඩ පදක්කම දිනා දීමට ශනුක කොස්තා ක්‍රීඩකයා සමත් වුණා.

ඔහු තරගය තත්පර 47 දශම 72කින් නිම කළා.

එය ඔහුගේ පෞද්ගලික ඉහළම දක්ෂතවයද වනවා.

 

 

Share This