සෝදිසියට පැමිණි පොලිසිය ‘ලක්ෂ 20ක් සොරකම් කළ බවට’ පොලිසියටම ලැබුණු පැමිණිල්ල

සෝදිසියට පැමිණි පොලිසිය ‘ලක්ෂ 20ක් සොරකම් කළ බවට’ පොලිසියටම ලැබුණු පැමිණිල්ල

වැල්ලම්පිටිය පොලිසියේ පස් දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් තම නිවෙස වටලා පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවෙසේ තිබූ රුපියල් ලක්ෂ 20ක මුදලක් සොරාගෙන ගොස් ඇති බව පවසමින් කාන්තාවක් විසින් පැමිණිල්ලක් කර ඇතැයි නුගේගොඩ කොට්ඨාස උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

වැල්ලම්පිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් විශේෂ කාර්ය අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු කොස්තාපල්වරුන් සිවුදෙනකු පිටවීමේ සටහන්ද යොදා පොලිස් ස්ථානයෙන් පිට වී ගොස් ගංජා ග්‍රෑම් 300ක් සමඟ කොළොන්නාව ප්‍රදේශයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ගංජා ගත් ස්ථානය සම්බන්ධයෙන් අනාවරණ වීමෙන් අනතුරුව මඳක් ඈතින් තිබෙන එම නිවෙස වටලා පරීක්ෂා කර තිබෙනවා

එම අවස්ථාවේදී නිවෙසේ සිට ඇත්තේ එම කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයාගේ මව පමණක් බවත් පොලිස් නිලධාරීන් පිරිස නිවෙසේ අස්සක් මුල්ලක් නෑර සෑමතැනම පරීක්ෂා කළද ගංජා සොයා ගැනීමට නොහැකි වී ඇති අතර අනතුරුව ලක්ෂ 10ක මුදලක් පමණක් සොයාගෙන තිබූ බවත් එම නිලධාරියා සඳහන් කළ බවයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙන්නේ

හමුවූ එම මුදල් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන් නිවැසි කාන්තාවගෙන් විමසීමේදී ඊට මඳක් ඈතින් ඉදිකරමින් පවතින දෙමහල් නිවෙසේ වැඩ කටයුතු සඳහා ඉතාලියේ රැකියාව කරන දියණිය විසින් එවූ මුදල් බවයි පවසා තිබෙන්නේ

එහිදී එම පොලිස් නිලධාරීන් එම මුදල් කාන්තාවගේ ස්වාමිපුරුෂයාගේ මවට ලබාදී නිසියාකාරව තිබෙනවාදැයි ගැන බලන ලෙස දන්වා ඇයට එම මුදල් දී නිවෙසින් පිට වී ගිය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

එලෙස පිටවී ගිය පිරිස අතර සිටි කොස්තාපල්වරයකු නැවතත් කඩිමුඩියේ නිවෙස තුළට පැමිණ කාමරයට ගොස් නැවත නිවෙසින් පිටවී ගොස් තිබූ අතර ඔහුගේ කලිසමේ සාක්කුව උඩට ඉලිප්පී තිබෙනු දැක නිවැසි කාන්තාව කඩිනමින් කාමරයට ගොස් මේසය මත පැන්සල් දමන ලද කවරයක දමා තිබූ රුපියල් ලක්ෂ 20ක මුදල සොයා බැලීමේදී එය මේසය මත නොමැති බව දැක තිබෙනවා

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කාන්තාව මේ බව නිවෙසින් පිටත සිටි සිය සැමියාට දැනුම්දීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත වැල්ලම්පිටිය පොලිසියට ගොස් ස්ථානාධිපතිවරයා හමුවී මේ බව සැල කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා වැටලීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙන්ම සෙසු නිලධාරීන් නැවතත් එම නිවෙස වෙත පිටත් කර හැර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා

එම අවස්ථාවේදී එම කාන්තාව දෙවැනි අවස්ථාවේදී නිවෙස තුළට පැමිණි කොස්තාපල්වරයාගේ ඡායාරූපයක් සිය ජංගම දුරකථනයෙන්ද ලබාගෙන තිබූ බවයි පැවසෙන්නේ

වැල්ලම්පිටිය පොලිසියෙන් සාධාරණයක් ඉටු නොවූ හෙයින් සැමියාගේ උපදෙස් මත මේ බව පොලිස් මූලස්ථානයට දුරකථනය හරහා කළ දැනුම්දීමකින් අනතුරුව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දුරකථන අංකය ලබාදී තිබෙනවා

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිලිකාර කාන්තාවගේ නිවෙසකට ගොස් පැමිණිල්ල සටහන් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

 

Share This