සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දකී

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දකී

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

රාජ්‍ය හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගිවීමෙන් අනතුරුව පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේත් ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේත් බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත ව ආශිර්වාද ලබාගෙන ඇති බව සඳහන්.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වර්තමාන දේශපාලන තත්ත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ව මහා නා හිමිවරු දැනුවත් කර තිබෙනවා.

මහනුවර ජාතික රෝහලේ අතරමඟ නවතා දමා තිබූ ඉදිකිරීම් ව්‍යාපෘති රජයේ මුදල් වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම පිළිබඳවත්, සෞඛ්‍ය සේවාවේ පැවැති ගැටලු රැසක් අවම කිරීමට ක්‍රමවත් ව කටයුතු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව ද මහ නාහිමිවරු දැනුවත් කර ඇති අතර වසර 16 කට පසුව මෙරට පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්ම මංගල්‍යයයේ පෙර සුදානම් කටයුතු මෙන්ම වෙසක්, පොසොන්, ඇසළ උත්සව කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මහ නාහිමිවරුන් සමග මෙහි දී අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණ කටයුතු, මැතිවරණයෙන් පසු ක්‍රියාත්මක කිරිමට අදහස් කරන රජයේ වැඩපිළිවෙළ මෙන් ම ජනතාවට ලබාදුන් අයවැය ප්‍රතිලාභ, නුවර නඟර සැලසුමේ ඉදිරි පියවරයන් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ආරක්ෂක අංශවල සහ රජයේ සේවක වැටුප් සහ දීමනා ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා මහානායක හිමිවරුන් සමඟ අදහස් හුවමාරු කරගෙන ඇති අතර, මල්වතු මහානායක හිමි ඒ පිළිබඳ ව දැඩි ප්‍රසාදයකින් යුතුව අදහස් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This