සෞදියේ දී අමානුෂික පහර කෑමට ලක් වූ මවට යලි ලැබුණ බලාපොරොත්තුව (VIDEO)

සෞදියේ දී අමානුෂික පහර කෑමට ලක් වූ මවට යලි ලැබුණ බලාපොරොත්තුව (VIDEO)

සිය පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ගෘහ සේවය සඳහා සෞදි රාජ්‍යට ගොස් නිවෙස් හිමියන්ගෙන් අමානුෂික පහරකෑම්වලට ලක්ව දුක්විදින ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳ ලයිව් ඇට් ශ්‍රී ලංකා කළ අනාවරණයෙන් පසු දින 3ක් තුළ එම කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මේ අතර එම කාන්තාවට විදෙස් ගත වීමට සහය දුන් කුරුණෑගල පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ හිමිකරුට හෙට දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා.

මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගොස් විවිධ දුක් ගැහැට විදින ශ්‍රී ලාංකික මවක් පිළිබඳව පුවතක් ලයිව් ඇට් ශ්‍රී ලංකා අනාවරණය කළේ ඇයගේ දියණිය සිය මව දිවයිනට ගෙන්වා දෙන ලෙසට ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලීමක් කර තිබූ පසුබිමකයි.

පී.ජී ධම්මිකා පද්මකුමාරි පසුගිය වසරේ ජුලි මස සෞදි අරාබිය බලා පිටත්ව ගියේ සිය පවුලේ අගහිගකම්වලට පිළියම් සෙවීමේ අරමුණින්.

ඒ සඳහා ඇය කුරුණෑගල ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක සහය ලබා ගෙන තිබුණු අතර රැකියා වීසා මත ඇයට සෞදි අරාබියේ රියාද් හි සේවය කිරීමට අවස්ථාව හිමිවී තිබුණා.

එහෙත් ඇයට අවස්ථා කිහිපයකදී නිවෙස් හිමියන් පහ‍ර දී නිවසින් නෙරපා හැර තිබුණා.

පසුව දෙවැනි වරට ද රැකියා හිමි වූ නිවසින්ද ඇය පහර කෑම්වලට ලක්ව ඇති බවයි ඇයගේ දියණිය අප වෙත ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ලයිව් ඇට් ශ්‍රී ලංකා කළ අනාවරණයෙන් පසුව ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇයව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළේ එම ශ්‍රී ලාංකික කාන්තාව සිමීත දින කිහිපයක් තුළ මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කර අවසන් බවයි.

Share This