
හදුන්නෙත්ති අරුවක්කාලු ගිහින්ගැ සැර කතාවක් කරයි (VIDEO)
ඛණිජවැලි ජාතික ප්‍රතිපත්තිය නිවැරදිව සකස් කර, ඛණිජවැලි මත ක්‍රියාත්මක වෙමින් පවතින ජාවාරම් මැඩපැවැත්වීමට පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
පුත්තලම අරුවක්කාලු රජයට අයත් ඉඩමක නීතිවිරෝධීව සිදුකළ ඉල්මනයිට් කැණීමේ ජාවාරමක් පිළිබඳ පසුගියදා තොරතුරු අනාවරණ වුණා.
වැඩබලන පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානය වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් වැටලීමෙන් අනතුරුවයි එම ජාවාරම අනාවරණ වුණේ.
අදාළ කැණීම් සඳහා යොදා ගත් රුපියල් ලක්ෂ 200ට අධික වටිනාකමකින් යුතු උපකරණ සියල්ල තවදුරටත් පොලිස් භාරයේ රදවා තබා ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ඊයේ මෙම ස්ථානය නිරීක්ෂණය කළ අතර, භූ විද්‍යා හා පතල් කැණීම්, සිමෙන්ති සමාගම ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන් ද එම අවස්ථාවට එක්වුණා.
මේ අතර පුත්තලම වනාතවිල්ලුව අරුවක්කාලු අධි සංවේදී පරිසර පද්ධතිය ආශ්‍රිතව සිදුකළ මෙම ජාවාරමට අදාළ නඩුව පසුගියදා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණා.
එහිදී මෙම විමර්ශනයට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි වලාන දූෂණ විමර්ශන බලකාය පියවර ගෙන තිබුණේ.
මෙහිදී අදා කැණීම් සිදුකළ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේද නඩුවක් විභාග වෙමින් පවතින බවයි.
එකම සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණ දෙකක නඩු විභාග සිදුකිරීම සුදුසු නැති බවද ඔහු පැවැසුවා.
ඒ ඔස්සේ අභියාචනාධිකරණය මගින් සිදුකළ නොහැකි යමක් පුද්ගලික අරමුණු වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය හරහා ලබාගැනීමට චේතනාන්විතව උත්සාහ කරමින් සිටින බවට සැකයක් මතුවන බවද නීතිඥවරයා පෙන්වාදී තිබෙනවා.
අභියාචනාධිකරණ නඩුවේදී නීතිපතිවරයා, අදාළ සමාගමට විරුද්ධව කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවද විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා පෙන්වාදී තිබෙනවා.
කරුණු සලකා බැලූ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නඩුව සැප්තැම්බර් 11වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළා.