
හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරු ඉල්ලූ ඇප ගැන කරුණු සලකා බැලීම අගෝස්තු මස 05 වැනිදා
හම්බන්තොට කුරුලු උද්‍යානයේ තිබී සොයා ගන්නා ලද නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී යතුරු පැදි 21 ක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව එම උද්‍යානයේ හිමිකරු වූ අජිත් ගාල්ලගේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
මෙම පෙත්සම අද (29) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මෝටර් බයිසිකල් මහා මාර්ගයේ භාවිතා කිරීමේ චේතනාවෙන් ගෙන්වන ලද බයිසිකල් නොවන බව ද ප්‍රකාශ කළා.
මෝටර් රථ පනතට අනුව මෙම චෝදනාව ඇප ලබාදිය හැකි වරදක් බවත් ඔහු මෙහිදී කියා සිටියා.
මෙම සිද්ධියට අදාළ නඩුව හෙට දින හම්බන්තොට මහෙස්ත්‍රත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවත් එහිදී සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව අදාළ ඇප ඉල්ලීම අද දින මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කරන ලෙස දැනුම් දුන් විනිසුරුමඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වැනිදා කැඳවන ලෙස නියම කළා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පිරිසක් ද නම් කර තිබෙනවා.
