හම්බන්තොට කුරුළු උයන සගවා තිබූ අධි බල යතුරු පැදි 13 සමග අත්අඩංගුවට ගත් දෙදෙනා 25 තෙක් රිමන්ඩ්

හම්බන්තොට කුරුළු උයන සගවා තිබූ අධි බල යතුරු පැදි 13 සමග අත්අඩංගුවට ගත් දෙදෙනා 25 තෙක් රිමන්ඩ්

හම්බන්තොට කුරුළු උයන පරිශ්‍රයේ ගොඩනැගිල්ලක තිබී අධි බල යතුරු පැදි 13 සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

මේ අතර පොලිසිය දැක්වූ කරුණු දැක්වීම මත අදාළ යතුරුපැදි සඟවා තිබූ ස්ථානය සහ යතුරුපැදිවලද හිමිකරු බවට සැකකෙරෙන පුද්ගලයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන තිබෙනවා.

රුපියල් කෝටි 22කට වැඩි වටිනාකමකින් යුතු අධිබල එංජින් සහිත යතුරුපැදි 08 ඇතුළු යතුරුපැදි 13ක් ඊයේ කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිය භාරයට ගත්තේ හම්බන්තොට කුරුළු උයන පරිශ්‍රයේ ගබඩාවක තිබියදීයි.

යතුරුපැදි සමඟ එම ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය සැකකරන්නේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අධිබල යතුරුපැදි රේගු නිලධාරීන්ගේ ද සහය ඇතිව රට තුළට ගෙන එන්නට ඇති බවටයි.

වැටලීම සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක බවයි.

අදාළ යතුරුපැදිවල සහ අදාළ කුරුළු උයනේ හිමිකරු බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනිීමට මේ වන විට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

ඊයේ පොලිස් භාරයට ගත් යතුරුපැදි 13 සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද සවස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකරුවන් දෙදෙනා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මේ අතර අදාළ යතුරුපැදිවල හිමිකරු බව කියන පුද්ගලයාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

Share This