හමාස් සංවිධානයෙන් නිදහස් පලස්තීන රාජ්‍යයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දෙයි

හමාස් සංවිධානයෙන් නිදහස් පලස්තීන රාජ්‍යයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර හමාස් සංවිධානයේ මැදිහත්වීමකින් තොරව ද්වි-රාජ්‍ය විසඳුමට සහාය දැක්වීමට ඡන්දය දුන්නා.

මෙම පාඨයට පක්ෂව ඡන්ද 142 ක් ද , ඊශ්‍රායලය සහ ඔවුන්ගේ ප්‍රධාන සගයා වන ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව ඊට විරුද්ධව ඡන්ද 10 ක් ද, ඡන්දය දීමෙන් වැළකී සිටි ඡන්ද 12 ක් ද ලෙස එඅය සම්මත වුණා.

එය පැහැදිලිවම හමාස් හෙළා දකින අතර එහි ආයුධ භාර දෙන ලෙස ඉල්ලා සිටීම ද විශේෂත්වයක්.

“පලස්තීනයේ ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය” ලෙස විධිමත් ලෙස හැඳින්වෙන මෙම පාඨයේ සඳහන් වන්නේ “හමාස් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු” බව සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය “ඔක්තෝබර් 7 වන දින සිවිල් වැසියන්ට එරෙහිව හමාස් විසින් සිදු කරන ලද ප්‍රහාර” හෙළා දකින බවයි.

“ගාසා හි යුද්ධය අවසන් කිරීමට, ද්වි-රාජ්‍ය විසඳුම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මත පදනම්ව ඊශ්‍රායල-පලස්තීන ගැටුමට සාධාරණ, සාමකාමී සහ කල් පවතින විසඳුමක් ලබා ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක්” ද එය ඉල්ලා සිටීනවා.

අරාබි ලීගය විසින් දැනටමත් අනුමත කර ඇති සහ අරාබි රටවල් කිහිපයක් ඇතුළුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 17 ක් විසින් ජූලි මාසයේදී සම-අත්සන් කරන ලද මෙම ප්‍රකාශය, ගාසා තීරයේ නායකත්වයෙන් හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම බැහැර කිරීමට ද උත්සාහ කර තිබෙනවා.

“ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමේ සන්දර්භය තුළ, හමාස් සංවිධානය ගාසා තීරයේ සිය පාලනය අවසන් කළ යුතු අතර, ස්වෛරී සහ ස්වාධීන පලස්තීන රාජ්‍යයක අරමුණට අනුකූලව, ජාත්‍යන්තර සහභාගීත්වය සහ සහාය ඇතිව, ගාසා තීරයේ සිය ආයුධ පලස්තීන අධිකාරියට භාර දිය යුතු,” බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ප්‍රකාශනයේ සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කිරීම ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවයි.

Share This