හමාස් සංවිධානයෙන් යෝජනාවක්

හමාස් සංවිධානයෙන් යෝජනාවක්

නව සටන් විරාම ගිවිසුමක් යටතේ ගාසා හි තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය යෝජනා කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රධාන නව ප්‍රහාරයක් දියත් කිරීමෙන් පැය කිහිපයකට පසු පැවති සාකච්ඡාවකදී එම සංවිධානය විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව දින 60ක සටන් විරාමයක් සහ ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා හිලව් වශයෙන් ප්‍රාණ ඇපකරුවන් නව දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වී ඇති බව පලස්තීන නිලධාරියෙකු විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් අකර තිබෙනවා.

නව යෝජිත ගිවිසුම මඟින් දිනකට ආධාර ට්‍රක් රථ 400 ක් ඇතුළුවීමට සහ ගාසා තීරයෙන් වෛද්‍ය රෝගීන් ඉවත් කිරීමට ද ඉඩ සැලසෙනු ඇති බව සඳහන්.

එමෙන්ම ඊශ්‍රායලය විසින් ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් සහ මියගිය ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරන ලෙස ද අදාළ සාකච්ඡාවේදී ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

නව සටන් විරාම සාකච්ඡා වටය දෝහාහි කටාර් සහ එක්සත් ජනපද මැදිහත්කරුවන් හරහා පැවැත්වුණා.

කෙසේවෙතත් අදාළ යෝජිත ගිවිසුමට ඊශ්‍රායලය තවමත් ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා නොමැති අතර සාකච්ඡාවලට පෙර කියා සිටියේ තමන් ගාසා තීරයෙන් හමුදා ඉවත් කර නොගන්නා බවයි.

මාස කිහිපයකින් ගාසා තීරයේ සිදු වූ මාරාන්තිකම ප්‍රහාර රැල්ල මධ්‍යයේ, ඊශ්‍රායල හමුදාව “Operation Gideon’s Chariots” නමින් නව ප්‍රහාරයක් දියත් කරන බව නිවේදනය කළා.

Share This