හමුදාවේ හිටපු නිලධාරීන්ට බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක හෙළාදකින හිටපු ජනපති මහින්ද

හමුදාවේ හිටපු නිලධාරීන්ට බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක හෙළාදකින හිටපු ජනපති මහින්ද

බ්‍රිතාන්‍යය විසින් මෙරට හිටපු සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන අයට බ්‍රිතාන්‍යයට ඇතුළු වීම සහ එරට දේපොළ අයිතිය තහනම් කිරීම ඇතුළු සම්බාධක පනවන වැවට ප්‍රකාශ කර තිබුණද අදාළ චෝදනා කිසිඳු අවස්ථාවක ඔප්පු කර නොමැති බවයි මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වූ කරුණු උපුටා දැක්වීම පහතින්…

“එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකළ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මමය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළහ.”

“යුද්ධය අතරතුර මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවූ බවට බ්‍රිතාන්‍ය රජය කරන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරමි. අපි යුද්ධ කළේ දෙමළ ජනතාවට එරෙහිව නොව එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පමණක් බව මම අවධාරණය කරමි. ”

“දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ සහ පොලිස් නිලධාරීන් 27,695 දෙනෙකුගේ ජීවිත පමණක් නොව දේශපාලන නායකයින් ඇතුළු සිවිල් වැසියන් දහස් ගණනකගේ ද ජීවිත අහිමි විය. 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස 2008දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානයයි. විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වෙන නීතිමය පීඩාවලින් තමන්ගේ සන්නද්ධ හමුදාවන් ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2021දී සහ 2023දී විශේෂ නීති සම්පාදනය කළ බව ද මෙහිදී සිහිපත් කළ යුතුය. ”

“එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි”

Share This