හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ වැඩපිළිවෙළ ජයගත හැකියි – දිස්ත්‍රික් ලේකම්වරු කියයි (වීඩියෝ)
මහ කන්නයේ දී කාබනික පොහොර නිවැරදි ලෙස භාවිතා කළ ගොවීන් ඉහළ අස්වැන්නක් ගෙන ඇති අතර ඊට යොමු නොවූ ගොවීන් ද නිසි ලෙස දැනුවත් කර සිදු වූ අඩුපාඩු මගහරවා ගැනීමෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ ජයගත හැකි බව දිස්ත්‍රික් ලේකම්වරු පවසනවා.
යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කළ බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.
මහ කන්නයේ දී ලත් අත්දැකීම් පාදක කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයින් 48දෙනෙකු තෝරාගෙන පොහොර බෙදාහැරීමේ කටයුතු සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ කරුණු සම්බන්ධයෙන් වූ වඩු දුර තොරතුරු පහතින් …
අනාගත දරු පරපුර වෙනුවෙන් වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩසටහනක් ආරම්භ කෙරුණා.
රසායනික පොහොර සහ වල්නාශකවලට හුරු වූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයකි.
එහෙත් සියලුම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින්, විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කර සාර්ථක ප්‍රතිඵල පෙන්විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීම, නිසි වේලාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර ලබාදීම සිදුවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පැවති ඇතැම් රජයන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ විශ්වාසයක් නොතිබිණ.
පාරම්පරික කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව ඉන් ස්වයංපෝෂිත කර, ගොවියා ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා කියා සිටියේ.
කාබනික පොහොර නිෂ්පාදනයට සම්බන්ධ වී සිටින සියලු නිෂ්පාදන ආයතන දීර්ඝ කාලයක් පර්යේෂණ සිදුකර වගා කටයුතු සඳහා යොමුව සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන සිටී.
ඔවුන්ගේ දැනුම හා ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ගොවි ජනතාව අතට පත් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි බව තමාට විශ්වාස යැයි ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
සතියකට දෙවතාවක් දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පොහොර කමිටුවට රැස්වීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොහොර නිෂ්පාදකයින් සතුව විශාල වගකීමක් පවතින බව
ප්‍රකාශ කළා.
දිස්ත්‍රික්ක රැසක ගොවීහු මහ කන්නයේ දී කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව පොහොර නිෂ්පාදන ආයතනවල පර්යේෂකයෝ ද පෙන්වා දී තිබෙනවා.