
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමේ තීරණය ගැන අධිකරණයට කළ දැනුම් දීම
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය හා පෙත්සම්කාර පාර්ශවය වෙත මෝසමක් මාර්ගයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සමක් අද (24) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළා.
මෙම පෙත්සම කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන්නා.
ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ විශේෂයෙන්ම අදාළ පනත යටතේ සිය සේවා දායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.
කෙසේ වෙතත් තම සේවාදයකයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ලැබුවොත් ඊට පෙර ඒ පිළිබඳව අධිකරණයට සහ තම සේවා දායකයාගේ පාර්ශවයට නොතිසි ලබාදීමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා සඳහන් කළේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට නොගන්නා බවට තමන්ට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවයි.
කෙසේ වෙතත් විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී තීරණයක් ගෙන නොමැති බවත් කියා සිටියා.
කෙසේ වෙතත් ඉදිරියේදී මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඊට පෙර ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයටත් පෙත්සම්කාර පාර්ශ්වයටත් දැනුම් දීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.
එවැනි අවස්ථාවක් උද්ගත වුවහොත් එම අවස්ථාවේදී මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට තමන් අයිතිය රඳවා ගන්නා බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දනූම් දුන්නා.
ඉන් අනතුරුව මෙම පෙත්සම යලි නොවැම්බර් මස 12 වැනිදා කැඳවීමටද විනිසුරු මඩුල්ල නියෝග කළා.
පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා කියා සිටින්නේ ශාන්ත සමරවීර නමැති පුද්ගලයෙකුගේ අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ඉකුත් ජූලි මස 28 වැනිදා හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවයි.
කොටි සංවිධානයේ ත්‍රිකුණාමලයේ හිටපු නායකයෙකු මෙන්ම එම දිස්ත්‍රික්කයේ හිටපු බුද්ධි අංශ නායකයකු වන සෙල්වතම්බි මහේන්ද්‍රන් නමැත්තා ලබාදුන් ප්‍රකාශයක් මත හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔහු පැවසුවා.
ඉකුත් අගෝස්තු මස 05 වැනි දා මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ තමා හිටපු නාවික හමුදාපතිවරයා කොටි සංවිධානයේ නායකයකුගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කළ බවත් පොලිසිය විසින් අනීතික ලෙස හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව තහවුරු කෙරෙන කරුණු එහිදී තමන් විසින් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළා.
එම ප්රවෘත්ති සාකච්ඡාවේදී තමා කිසිදු ජනවර්ගයකට හෝ ආගමකට බලපෑම් වන ආකාරයේ නොසන්සුන් වන ආකාරයේ ප්‍රකාශයක් සිදු නොකළ බවත් ඔහු අධිකරණය හමුවේ පැවසුවා.
පෙත්සම්කරු පවසන්නේ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම පිටුපස ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත ජීවත් වන බෙදුම්වාදී එල්ටීටීඊ හිතවාදීන් සිටින බවයි.
එමඟින් මෙරට සන්නද්ධ හමුදාවන්ගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ මෙරට සන්නද්ධ හමුදාවන්ට එරෙහිව පදනම් විරහිතව එල්ල කරන ලද යුද අපරාධ චෝදනා සාධාරණීකරණය කිරීමට ඔවුන් උත්සාහ කරන බවට තමා විශ්වාස කරන බවත් පෙත්සම්කරු අධිකරණයට දන්වා සිටියා.
මේ අතර අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් ඉදිරිපත් කළ කරුණු වලට අදාළව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවට ඉකුත් 27 ජනමාධ්‍ය විසින් පලකල වාර්තා තුළින් තමන් දැනගත් බවත් ඔහු කියා සිටියා.
පෙත්සම්කරු අධිකරණයට දැනුම් දී සිස්ටියේ වග උත්තරකරුවන් විසින් ඇප රහිතව තමන්ව රිමාන්ඩ් භාරයට පත් කර ගැනීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත අවභාවිතාවට ලක් කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් සූදානම් වන බවයි.
ඒ අනුව අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් පළකල අදහස් පදනම් කරගෙන තමන්ව අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටීයා.
