
හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුලු පවුලේ 06 කට අධි චෝදනා බාර දෙයි
රුපියල් මිලියන 98ක අයථා වත්කම් උපයා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද(17) අධි චෝදනා ගොනු බාර දෙනු ලැබුවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එසේ අධිචෝදනා බාර දුන් අතර එම විත්තිකරුවන් හය දෙනා ඇප මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.
ඒ අනුව ඔවුන් සියලු දෙනා ඇප මත මුදාහැරීමට නියෝග කළේ රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මතයි.
ඊට අමතරව විදෙස් ගමන් තහනමන් ද පැනවු අතර ඇඟිලි සලකුනු ලබාගැනීමට ද නියෝග කළා.
ඊට අමතරව විනිසුරුවරිය නියෝග කළේ පෙර වැරදි වාර්තාවක් ද කැඳවන ලෙසයි.
නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය එළැඹෙන අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට දින නියම කළා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම සඳහන් කළේ චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කළ බවයි.
මහාධිකරණය මගින් නිකුත් කළ සිතාසි වලට අනුව කොළඹ මහාධිකරණය හමුවේ එලෙස අධිචෝදනා ගොනු බාර දිම සඳහා එම විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ අනුව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල , බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී , දියනියන් වන අමාලි රඹුක්වැල්ල , නයනිකා රඹුක්වැල්ල , චන්දුලා රඹුක්වැල්ල සහ බැනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අය හට අධිචෝදනා ගොනු කර තිබෙනවා.