
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාරට එරෙහි පෙත්සමක් සලකා බැලීම සැප්තැම්බර් 03 දා
1999 වසරේ දී මාතලේ ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදලව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ තැත් කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර බල රහිත කරමින් අභියාචනාධිකරණය දී තිබූ තීන්දුවක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝග කළා.
එම පෙත්සම කැදවනු ලැබුවේ ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.
එහිදී වගඋත්තරකාර හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඔහුට ඇවිදීම පවා අපහසු බවත් දන්වා සිටියා.
ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 03 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා.