
හිටපු මහබැංකු අධිපතිට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් මිලියන 6.5 ක මුදලක් ඉමාඩ් සුබේරි නැමති ඇමරිකානූ ජාතිකයෙකුට ගෙවීම තුළින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළා.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ,මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ඤාණරාජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව පෙත්සම්කාර හිමියන් විසින් මීට පෙර කොළඹ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වලට පුද්ගලික පැමිණිලි ඉදිරිපත් කළත් ඒවා එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කර සිටියා.
නීතිඥ ඥානරාජ් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ඊට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවයි.
පෙත්සම්කාර තීනියාවල පාලිත හිමියන් වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ වග උත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සහ ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බවයි.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුකරය හරහා බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
